වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟයෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම පරදවා ඉන්දීය යොවුන් ක්‍රිකට් කණ්ඩායම කඩුලු 08ක විශිෂ්ට ජයක් හිමිකර ගත්තා.

වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරඟය පන්දුවාර විස්සකට සීමා වුණා.

ඉන්දීය කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්සක් අවසානයේදී කඩුලු 08ක් දැවී ලකුණු 138ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චාමික හිටිගල පන්දු 38ක් තුළදී ලකුණු 42ක් ලබා ගත්තා.

ජයග්‍රාහී ලකුණු 139ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඉන්දීය යොවුන් කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේදී කඩුලු 02ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායම සහ පකිස්ථාන යොවුන් කණ්ඩායම අතර පැවති අනෙක් අවසන් පූර්ව වටයේ තරඟයෙන් පකිස්ථාන යොවුන් කණ්ඩායම ජයගත්තා.

ඒ අනුව වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ලබන 21 වනදා ඉන්දීය යොවුන් කණ්ඩායම සහ පකිස්ථාන යොවුන් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.