ඊශ්‍රායලය සහ ගාසා තිරය අතර ඇති කරගත් සටන් විරාමය හේතුවෙන් මේවන විට දකුණු ගාසා තීරයේ රාෆා දේශසීමාව හරහා සහ ඊජිප්තුව හරහා ආධාර ට්‍රක් රථ විශාල ප්‍රමාණයක් පැමිණෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද උදැසන සිට ඊජිප්තුව රාෆා හරස් මාර්ගයේ ආධාර පටවාගත් ට්‍රක් රථ 200ක් ගාසා තීරයට ඇතුළු වීමට සූදානම් ව සිටි බවයි ආධාර නිලධාරීන් පවසා ඇත්තේ.

කෙසේවෙතත් ලෝක ආහාර වැඩසටහන පැවසුවේ ආධාර ලොරි ගාසා තීරයට තවමත් ඇතුළු වී නොමැති බවත්, දිනපතා භූමියට ඇතුළු වන්නේ ලොරි දෙක තුනක් පමණක් බවයි.

පලස්තීන භූමියේ සටන් විරාමය ක්‍රියාත්මක වූ දා සිට දකුණු ගාසා තීරයට ට්‍රක් රථ කීයක් ඇතුළු වී ඇත්දැයි තවමත් පැහැදිලි නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කුසගින්නෙන් පෙළෙන මිලියන සංඛ්‍යාත පලස්තීන ජනතාව පෝෂණය කිරීම සඳහා දිනකට අවම ට්‍රක් රථ 500ත් 600ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වන බවයි එක්සත් ජාතීන්ගේ මානුෂීය නිලධාරීන් සදහන් කර තිබෙන්නේ.

කෙසේවෙතත් අද උදැසන සිට ඊජිප්තුව රාෆා හරස් මාර්ගයේ ආධාර පටවාගත් ට්‍රක් රථ 200ක් තීරුවට ඇතුළු වීමට සූදානම්ව සිටි බවයි ආධාර නිලධාරීන් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

අද දින ගාසා තීරයට ඇතුළු වූ පළමු ට්‍රක් රථ හතර රෝහල් සහ ලවණ ඉවත් කිරීමේ කම්හල් සඳහා ඉන්ධන රැගෙන ගිය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායල විරෝධතා මත ආධාර බෙදා හැරීම ප්‍රමාද වීම හේතුවෙන් ගාසා තීරයට යැවූ සමහර ආහාර සැපයුම් නරක් වීමට පටන් ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

එක්සත් ජාතීන්ගේ මානුෂීය නිලධාරීන්, ආධාර කණ්ඩායම් සහ සෞඛ්‍ය නිලධාරීන් ඊශ්‍රායලයෙන් අයැද සිටියේ ගාසා තීරයට අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන සහ වෛද්‍ය සැපයුම් බෙදා හැරීමට ඉඩ දෙන ලෙසයි. එසේ කිරීමට අපොහොසත් වුවහොත් එම ප්‍රදේශය මහා සාගතයකට ඇද දැමිය හැකි බවටද ඔවුන් අනතුරු අඟවා තිබුණා.