ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන පනත් කෙටුම්පතක් ලෙස 2026 වර්ෂයට අදාළව සකසන ලද ව්‍යාජ ලේඛනයක් සමාජ මාධ්‍ය ජාලා වෙත මුදාහැරි පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අදාල පනත් කෙටුම්පත අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හෝ ඊට අනුබද්ධ ආයතනයක් විසින් හෝ ප්‍රකාශයට පත් කරන ලද්දක් නොවන බවයි අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පැවසුවේ.

මේ අතර ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත 01 ශ්‍රේණියේ සහ 06 ශ්‍රේණියේ විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපදෙස් සංග්‍රහය නිකුත් කර තිබෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අදාළ චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ ඉදිරියේදි නිකුත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.
2026 වර්ෂයේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට රජය මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. නව ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රාථමික අධ්‍යාපනය අවධි තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ 01, 02 ශ්‍රේණි පළමු ප්‍රධාන අවධිය, 03, 04 ශ්‍රේණි දෙවන ප්‍රධාන අවධිය සහ 05 වන ශ්‍රේණියේ තෙවැනි ප්‍රධාන අවධිය ලෙසයි.
01 සිට 05 ශ්‍රේණි දක්වා විෂයමාලාව සැකසී ඇත්තේ ඉගෙනුම් ක්ෂේත්‍ර 09ක් යටතේ බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ. මව් භාෂාව, ඉංග්‍රීසි භාෂාව, දෙවන ජාතික භාෂාව, ගණිතය, ආගම සහ සාරධර්ම අධ්‍යාපනය, ආරම්භක විද්‍යාව සහ පරිසරය ආශ්‍රිත ක්‍රියාකරකම්, ඒකාබද්ධ සෞන්දර්ය අධ්‍යාපනය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය සහ විෂය සමගාමි ක්‍රියාකාරකම් ඊට අයත්.
ප්‍රාථමික අංශයේ 01, 02, 03 සහ 04 යන ශ්‍රේණි සඳහා පාසල් පවත්වන කාලයේ කිසිදු වෙනසක් සිදු වන්නේ නැහැ. 05 වන ශ්‍රේණිය සඳහා පෙරවරු 07.30 සිට පස්වරු 02.00 දක්වා පාසල් පැවැත්වීමට නියමිතයි.
පළමු ශ්‍රෙණියේ සිසුන් සඳහා පෙළපොත් වෙනුවට නව විෂය නිර්දේශයට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය මගින් සම්පාදිත ක්‍රියාකාරකම් පොත් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
කණිෂ්ඨ ද්විතීක අධ්‍යාපනය 06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වන අතර ලබන වසරේ සිට 06 ශ්‍රේණිය සඳහා නව විෂයමාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද නිකුත් කළ උපදෙස් සංග්‍රහයේ සඳහන්. එම ශ්‍රේණිවල සියලු සිසුන් අනිවාර්යය විෂයන් 14ක් හැදෑරිය යුතුයි. එමෙන්ම ක්‍රීඩා හා සමිති සමාගම් සඳහා සහභාගී වීමට ද සෑම දරුවෙකුටම අවකාශ ලබාදී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.
අනිවාර්යය විෂයන් 14 මොඩියුල මගින් ඉගැන්වීමට අපේක්ෂා කෙරෙන අතර විෂයන් අනුව වාරයකට ඉගෙනීමට අවශ්‍යම මොඩියුල සංඛ්‍යාව තීරණය වනු ඇති.

06 වැනි ශ්‍රේණියේ සිට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ජීවිතය සඳහා තාක්ෂණය සහ ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව ලෙස නව විෂයන් තුනක් හඳුන්වාදීමට නියමිතව තිබෙනවා.
කණිෂ්ට ද්විතීක අංශයේ පාසල් පැවැත්වෙන කාලය පෙරවරු 07.30 සිට පස්වරු 02.00 දක්වා සිදු වන අතර මිනිත්තු 50 බැගින් කාලපරිච්ඡේද 07ක් එහිදි හඳුන්වා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.
මේ අතර 2027 වසරේ සිට පෙරපාසල් සඳහා එකම විෂයමාලා රාමුවක් හඳුන්වාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවා. ඒ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව පාර්ලිමේන්තුවේදී රැස් වු අවස්ථාවේදීයි. ඒ යටතේ 19,000කට ආසන්න පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන නොවැම්බර් මස 25 වනදා ආරම්භ කිරීමට නියමිතයි.