දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු දෙකක් අද කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනුනා.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියෙදියි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම ආයතනයට කුලී පදනම මත වාහන මිලදී ගැනීමේදී සිදුකළ අවිධිමත් ක්‍රියාවලින් රජයට පාඩු කළේ යයි චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩු දෙක ගොනු කර තිබුණා.
මින් එක් නඩුවක් කැඳවූ අවස්ථාවේදී විත්තියේ සාක්ෂි කැඳවීම සිදුවූ අතර ඒ යටතේ විත්තිකාර සරණ ගුණවර්ධන මහතා විත්තිකුඩුවේ සිට අධිකරණයට ප්‍රකාශයක් සිදු කළා.
එහිදී සරණ ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ යුදමය වාතාවරණය පැවති අවස්ථාවේ තමන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ බවත් එම වකවානුවේ ලොතරැයි අලෙවිය පහත වැටී තිබූ බවත් පැවසුවා.
ලොතරැයි අලෙවිය නගා සිටුවීම සඳහා නව ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවූ බවත් ඒ සඳහා මෙම වාහන කුලී පදනම මත ලබා ගැනීමට සිදුවූ බවත් ඔහු සඳහන් කර සිටියා.
මෙම ක්‍රියාවලියේදී කිසිදු ආකාරයක අක්‍රමිකතාවක් සිදු නොවූ බවත් ඔහු පැවසුවා.
ඉන් අනතුරුව එම නඩුව යළි ජනවාරි මස 26 වනදා කැඳවීමටද නියම වුණා.
මේ අතර සරණ ගුණවර්ධන මහතාට එරෙහිව ගොනු කර තිබූ තවත් නඩුවක් දෙසැම්බර් මස 16 වන දා කැඳවීමටද නියම වුණා.



