අධිවේගී මාර්ගයන් හි ධාවනය වන සැහැල්ලු වාහනවල පසුපස ආසනවල ගමන් ගන්නා පුද්ගලයින් ආසන පටි පැළඳීම අනිවාර්ය කෙරුණද මුල් අවස්ථාවේ එලෙස කටයුතු නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එම පාර්ශවයට ආසන පටි පැළඳීම අනිවාර්ය කෙරුණේ පසුගිය පළමුවනදා සිටයි. ඒ අනුව එදින සිට ආසන පටි පැළඳීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම පළමු අදියර යටතේ සිදු කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති බී චන්ද්‍රපාල මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.

ආසන පටි නොමැති වාහනවල ඒවා සවි කර ගැනීමට සහන කාලයක් ලබා දෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස් රථවල රියදුරා ඇතුළු එහි ගමන් ගන්නා මගීන්ද ආසන පටි පැළඳීම සැප්තැම්බර් පළමුවනදා සිට අනිවාර්ය කරන බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති බී චන්ද්‍රපාල මහතා වැඩිදුරටත් පැවසුවා.