සීතාවක ප්‍රාදේශීය සභාව සදහා සභාපතිවරයා හා උප සභාපති වරයා තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරනු පෙත්සමෙන් පිළිබඳ නියෝගය ලබන මේ මස 14 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කලා. එදින තෙක් අදාළ නිලතල සඳහා තෝරා ගැනීමේ ඡන්ද විමසීම නොපවත්වන ලෙස වග උත්තරකාර පාර්ශවයට උපදෙස් දෙන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දුන්නා. අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා. සීතාවක ප්‍රාදේශීය සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර එහි වග උත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම්කරුවන් කියා සිටින්නේ සීතාවක ප්‍රාදේශීය සභාවේ බහුතර බලය විපක්ෂය සතුවන බවයි. එසේ තිබියදී අදාළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ඉකුත් 17 වනදා බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානයත්වයෙන් රැස්වීමක් පැවැති බවත් පෙත්සම්කරුවන් සඳහන් කළා. එහිදී අදාල තෝරා ගැනීම් සිදුකිරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස් වරිය තීරණය කළ අතර ඊට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරු 24 දෙනෙකු සභාවෙන් පිටව ගිය බවත් පෙත්සමේ සඳහන් වෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සභාවේ ගන පූර්ණය නොමැති වීම හේතුවෙන් අදාල තෝරාපත් කර ගැනීම කල් දැමුනු බවත් පෙත්සමේ සඳහන් කර තිබේ. ඒ අනුව අදාල තනතුරු වලට තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස් වරිය ගෙන තිබෙන තීරණය තීරණය නීතියට පටහැනි බවත් එය ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ. මේ අතර මෙම කරුණට අදාළව සීතාවක නගර සභාව වෙනුවෙන් ගොනු කෙරුණු පෙත්සමද කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 09 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝග කරන ලදී. මෙම කරුණට අදාළව සීතාවක නගර සභාව සහ මාවතගම ප්‍රාදේශීය සභාව සම්බන්ධ පෙත්සම් වල නියෝගයද එදින ප්‍රකාශයට පත් කරන බව විනිසුරු මඩුල්ල නිවේදනය කළා.
Published