තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළසිරුරු දෙකක් හමුවී තිබෙනවා. එම නිවසේ සිටි තවත් පුද්ගලයෙකු තංගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
පුද්ගල ඝාතන සහ අභිරහස් ලෙස මියයෑම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විටින් විට වාර්තා වනවා.
එවන් තවත් සිද්ධියක් වාර්තා වුණේ.
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයෙන්.
අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක සිටි පුද්ගලයෙකු හදිසියේ අසනීප වී තංගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඉන් අනතුරුව පොලීසියට ලද තොරතුරු මත සීනිමෝදර ප්‍රදේශයේ අදාළ නිවස පරික්ෂා කර තිබෙනවා.
එහි තිබී පුද්ගල මළසිරුරු දෙකක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
එම නිවස අසල පිහිටි ලොරි රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 10ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
අදාළ මරණවලට හේතුවද මෙතෙක් අනාවරණ වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ අතර මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබූ ගිනි අවි සහ උණ්ඩ තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඒ, රැඳවුම් භාරයේ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්පත් මනම්පේරිගෙන් සහ බැකෝසමන් නමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේදීයි.
ඒ අනුව අදාළ නිවස පිටුපස වළ දමා තිබූ රන් පැහැති මැගසින් දෙකක් මිලි මීටර් 9වර්ගයේ පිස්තෝලයක්, ටී 56 උණ්ඩ 11ක් සහ අත් බෝම්බයක් සොයා ගෙන තිබෙනවා. අදාළ ගිනි අවි සහ උණ්ඩ තොගය බැකෝ සමන් නමැත්තා විසින් මීට මාස දෙකකට පෙර සම්පත් මනම්පේරිට ලබා දි ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
ඒ අනුව සම්පත් මනම්පේරි විසින් පසුගිය තුන් වනදා සිය අනියම් බිරිඳගේ නිවස පිහිටි ඉඩමෙහි එම ගිනි අවි සහ උණ්ඩ තොගය වළ දමා ඇති බවද වාර්තා වුණා.
මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ භාරයේ සිටි සම්පත් මනම්පේරි බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත ඊයේ දිනයේ රැගෙන විත් තිබෙනවා.
ඒ, මිද්දෙණිය ප්‍රදේශයේ ඔහුට අයත් ඉඩමක වළ දමා තිබියදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය සොයාගැනිමේ සිද්ධියට අදාළව ප්‍රශ්න කිරීම් සඳහායි.




