මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31 දෙනෙකු නම් කරනු ලැබ සිටිනවා. පෙත්සම්කරු කියා සිටින්නේ ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාව සමඟ මෙරට පුරවැසියන්ගේ ඩිජිටල් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාල ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙන බවයි. මීට අදාළව ඉකුත් ජනවාරි මස 27 සහ ජුනි මස 02 වනදා අමාත්‍ය මණ්ඩල තීන්දු දෙකක් ලබාගෙන තිබෙන බවත් මහජනතාව හෝ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමකින් තොරව මෙම අමාත්‍ය මණ්ඩල තීරණය ගෙන තිබෙන බවත් පෙත්සමේ සඳහන් වෙනවා. මෙම කටයුතුවලට අදාළව 2022 වසරේ ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙන බවත් එම අවබෝධතා ගිවිසුම සංශෝධනය කිරීම සඳහා මෙම අමාත්‍ය මණ්ඩල තීන්දු දෙක ලබාගෙන තිබෙන බවත් පෙත්සමින් පෙන්වා දී තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම තුළින් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ජීව දත්ත ඇතුළු කරුණු ඉන්දියාව අතට පත්වන බවත් ඒ තුළින් ඉන්දියාවට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවකාශ සැලසෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා. දේශීය වශයෙන් ඩිජිටල් හැදුනුම්පතක් නිකුත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් මෙරට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් සකස් කරමින් පවතිද්දී එම කටයුත්ත රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට රජය විසින් ගනු ලබන තීරණය අත්තනෝමතික මෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා. මේ තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයට, ජාතික ආර්ථිකයට සහ ජාතික ආරක්ෂාවට මෙන්ම ස්වාධීනත්වයට මැදිහත්වීමට විදේශීය රාජ්‍යයකට අවස්ථාව සැලසෙන බවත් මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සමින් පෙන්වා දී තිබේ. ඒ අනුව ඉන්දියාව සමග ඇතිකරගෙන මෙම තිබෙන අවබෝධතා ගිවිසුම සහ ඊට අදාල කැබිනට් තීන්දු බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම හැදුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.