2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචි තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම්කර සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා එම නඩුවෙන් ඉවත් කිරීමට නීතිපතිවරයා ගෙන තිබූ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අතුරුදන් වූ තරුණයින්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අර්ජුන ඔබේසේකර හා සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.
ඉන් අනතුරුව මෙම අභියාචනා පෙත්සම ජනවාරි මස 30 වනදා විභාගයට ගැනීමට ද අධිකරණය විසින් දින නියම කරනු ලැබුවා.
පෙත්සම්කාර දෙමව්පියන් කියා සිටින්නේ 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී පැහැරගෙන යාමෙන් අනතුරුව තම දරුවන් අතුරුදන් කිරීමේ චෝදනාව මත හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නා ගොඩ මහතා ඇතුළු නාවික හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයින් 14 දෙනෙකුට එරෙහිව  ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නීතිපතිවරයා විසින් 2019 වසරේ නඩුවක් ගොනු කළ බවයි.
ඉන් අනතුරුව එම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී නඩුවේ විත්තිකරුවක වශයෙන් නම්කර සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා එම නඩුවෙන් ඉවත් කිරීමට නීතිපතිවරයා තීරණය කළ බවත් පෙත්සමිකරුවෝ චෝදනා කළා.
නීතිපතිවරයාගේ එම තීරණය අභියෝගයට ලක් කරමින් තමන් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළත් එම පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.
නීතිපතිවරයා විසින් වසන්ත කරන්නාගොඩ මහතා විත්තිකරුවකු ලෙස නම් කරමින් නඩු පැවරීමට තීන්දු කළේ ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි තිබූ නිසා යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් එසේ තිබියදී කරන්නාගොඩ මහතා එම නඩුවෙන් ඉවත් කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් සඳහන් කළා.
නීතිපතිවරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය නීතියට පටහැණි යැයි තීන්දු කොට සිය දරුවන් අතුරුදන් කිරීමට අදාළව ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම්කර සිටින වසන්ත කරන්නාගොඩ මහතා ඉන් ඉවත් කිරීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.