අඩු ඝනත්වයෙන් යුතු පොලිතින්වලින් සාදන ලද බහාලුම් මලු හෙවත් සිලි සිලි බෑග් පාරිභෝගිකයින්ට නොමිලේ ලබාදීම වළක්වාලමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 2023 අංක 9 දරණ පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සංශෝධිත පනතේ විධිවිධාන ප්‍රකාරවයි.

ඒ අනුව නොවැම්බර් මස 09 වනදා සිට වෙළෙන්දෙකු විසින් භාණ්ඩ විකුණනු ලබන අවස්ථාවේදී බහාලුම් මලු හෙවත් සිලි සිලි බෑග් කිසිදු පාරිභෝගිකයෙකු වෙත නොමිලේ ලබාදීම නොකළ යුතු වනවා.

සිලි සිලි බෑග් ලබාදෙන්නේ නම් ඒ සඳහා අයකරනු ලබන මුදල බිල් පතෙහි සඳහන් කළ යුතු බවට ද එම අති විශේෂ ගැසට් නිවේදනයෙන් නියම කර තිබෙනවා.

මේ අතර දියරමය පාන රැගෙන යාමට එක්වරකට වඩා භාවිතා කිරීමට සුදුසු ප්ලාස්ටික් බෝතල් සහ ළදරුවන්ට ආහාර ලබාදීම සඳහා ප්ලාස්ටික් ද්‍රව්‍යවලින් සාදන ලද බෝතල් සම්බන්ධයෙන් ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉහත දැක්වූ භාණ්ඩ නිෂ්පාදනය, ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම හෝ විකිණීම සිදුකළ හැක්කේ ීඛී සහතිකය සහිතව පමණක් බවයි එම ගැසට් නිවේදනයෙන් විධානය කර ඇත්තේ.

2026 වසරේ අප්‍රේල් මස පළමුවන දින සිට එය බලපැවැත්වෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.