අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය නිල සංචාරයක් සඳහා අද අලුයම ඉන්දියාව බලා පිටත්ව ගියා.

අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඉන්දියාවේ නිල සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙයයි.

ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහීෂිනි කොලොන්නේ මහත්මිය, ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් පිළිගනු ලැබුවා.

මෙම සංචාරය අතරතුර, දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අරමුණු කරගනිමින් අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලන නායකයින් කිහිප දෙනෙකු අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

අග්‍රාමාත්‍යවරිය 2025 භෘඔඪ ගෝලීය සමුළුව සඳහා ද සහභාගී වීමට නියමිත අතර එහිදී ඇය සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස, අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපනය, නවෝත්පාදනය සහ තාක්ෂණය පිළිබඳ සහයෝගීතාව සඳහා අවස්ථා පුළුල් කර ගැනීම අරමුණු කර ගනිමින් දිල්ලියේ පිහිටි ඉන්දියානු තාක්ෂණ ආයතනය සහ භෂඔෂ සංවර්ධන සහ පර්යේෂණ ආයතනය නැරඹීමට ද එක් වීමට නියමිතයි.

දිල්ලි හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අග්‍රාමාත්‍යවරිය, මෙම සංචාරය අතරතුර ඇය ඉගෙනුම ලැබූ හින්දු විද්‍යාලය, දිල්ලි නැරඹීමට ද එක් වනු ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වාණිජ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍යවරිය ව්‍යාපාරික වැඩසටහනකට සහභාගී වීමට ද නියමිතව තිබෙනවා.

මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වයේ වැදගත්කම අවධාරණය කරන අතර දෙරටේ ජනතාවගේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ සමෘද්ධිය උදෙසා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා දෙරටේ කැපවීම තහවුරු කරන්නක් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.