අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.

අනුරාධපුර බන්ධනාගාරයේදී සිර දඬුවම් නියම වූ සිරකරුවෙකු ජනාධිපති සමාව හිමි වූ බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නිදහස් කිරීමේ චෝදනාවට අදාළව එම බන්ධනාගාර අධිකාරීවරයා ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

ඉන් අනතුරුව එම බන්ධනාගාර අධිකාරීවරයා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

මුදල් වංචාවකට අදාළව සිර දඬුවම් නියම වූ අදාළ සිරකරු ජනපති පොදු සමාව යටතේ නිදහස් කර ඇති බවට ඇතැම් පාර්ශව පසුගිය දින කිහිපයේ චෝදනා එල්ල කර තිබුණා.

එමෙන්ම එම සිද්ධියට අදාළව විවිධ වාර්තා සමාජ මාධ්‍ය හරහාද සංසරණය වුණා. ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේද අවධානය යොමු වූ අතර එම කාර්යාලය විසින් ඊට අදාලව නිවේදනයක්ද නිකුත් කරනු ලැබුවා.

එහි දැක්වුණේ වෙසක් පොහොය නිමිත්තෙන් ජනපති පොදු සමාව හිමි විය යුතු, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් එවන ලද සිරකරු නාමලේඛනයේ නම් 388 අතර එම සිරකරුගේ නම ඇතුළත්ව නොතිබූ බවයි.

ඒ අනුව ඩබ්ලිව් එච් අතුල තිලකරත්න නමැති එම සිරකරුට සමාව දීම සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබා දී නොමැති බවද එම නිවේදනයේ සඳහන් වුණා.

ඒ අනුව ජනපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීමට අදාළව විශේෂ පරික්‍ෂණයක් සිදු කරන ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කර තිබුණා.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගෙන් පළමුව ප්‍රශ්න කිරීම් සිදු කිරීම් සිදු කර තිබුණා. ඉන් අනතුරුව විමර්ශන අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.