මෙක්සිකෝව පුරා දැවැන්ත විරෝධතාවක් හටගෙන තිබෙනවා. ඒ, අතුරුදන් වූ එක් ලක්ෂ 30,000 දෙනා සොයා දෙන ලෙසත් අතුරුදහන් වීම් නැවැත්වීමට නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයට බල කරමින්. අතුරුදන් වූවන්ගේ ඥාතීන් සහ මිතුරන් මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරීන් විශාල පිරිසක් එක්ව මෙක්සිකෝ නගරය, ග්වාඩලජාරා, කොර්ඩෝබා සහ අනෙකුත් නගරවල විරෝධය පළකරමින් ඔවුන්ගේ ආදරණීයයන් සොයා ගැනීමට උදව් කරන ලෙස ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම්ගේ රජයෙන් ඉල්ලා සිටිනවා. මේ වන විට මෙක්සිකෝවේ එක් ලක්ෂ 30,000කට අධික පිරිසක් අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. 2007 දී එවකට ජනාධිපති ෆෙලිපේ කැල්ඩෙරොන් සිදු කළ මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය දියත් කළ දා සිට මෙම අතුරුදන්වීම් වැඩි වශයෙන් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. බොහෝ අවස්ථාවලදී, අතුරුදන්වූවන් මත්ද්‍රව්‍ය කල්ලිවලට බලහත්කාරයෙන් බඳවා ගෙන ඇති බවත් නැතහොත් ප්‍රතිරෝධය දැක්වීම නිසා ඝාතනය කර ඇති බවයි අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සහ මිතුරන් පවසන්නේ. රජයෙන් නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් බොහෝ පීඩාවට පත් පවුල් “බස්කඩෝර්ස්” ලෙස හඳුන්වන සෙවුම් කණ්ඩායම් පිහිටුවා ගෙන ඇති අතර ඔවුන් උතුරු මෙක්සිකෝවේ ගම්බද ප්‍රදේශ සහ කාන්තාර පුරා සෝදිසි කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෑතකදී ජාලිස්කෝහි මත්ද්‍රව්‍ය ගබඩාවක් එම සෙවුම් කණ්ඩායමක් විසින් සොයා ගැනීමෙන් පසුව, ඊට සම්බන්ධ බස්කඩෝර්වරු කිහිප දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මෙම අතුරුදහන් වීම් දැවැන්ත පරිමාණයේ මානව ඛේදවාචකයක් බවයි.
Published