පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ වනවිටත් කිසිදු බාධාවකින් තොරව පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

පෙරවරු 09:30ට විභාග මධ්‍යස්ථාන 2,787කදී නියමිත වේලාවට විභාගය ආරම්භ වූ බවයි නෙත් නිවුස් කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් ඒ කේ එම් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවේ.

මහරගම අපේක්ෂා රෝහලේ ද විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබුණා.

පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවන් සිව් දෙනෙක් වෙනුවෙන් එලෙස විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

එහෙත් විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි පිරිමි දරුවාගේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමට මහරගම අපේක්ෂා රොහලේ වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණා.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ විභාග දෙපාර්තමේන්තුව එම දරුවා වෙනුවෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙනවා.

එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් එම දරුවා විභාගයට පෙනී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ගැහැණු දරුවන් සිව් දෙනා ද අපේක්ෂා රෝහලේ සිට විභාගයට පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවා.

මේ අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් දිවයිනේ ස්ථාන කිහිපයක විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබෙනවා.

මේ අතර අද දිනයේ පවත්වනු ලැබූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත නිකුත් කිරීමට අපේක්‍ෂාවෙන් සිටින බවයි විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල නියෝජ්‍ය විභාග කොමසාරිස් අසංක ජයතිලක මහතා පැවසුවේ.

ශිෂ්‍යත්ව විභාගය සමත් බවට නිකුත් කරනු ලබන සහතික පත්‍රය ලබා ගැනීමට ඇති කොන්දේසි සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කෙරුණා.