තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළේ. සැකකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස අදහස් පළ කළා.

මෙම මෝසම අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස අදහස් පළ කළා. මේ අතර අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ මේ වන විට අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින රාජිත සේනාරත්න මහතාට ප්‍රකාශයක් ලබා දෙන ලෙස දැන්වීමක් නිකුත් කිරීමට නියෝගයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක්ද මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. තම සේවාදායකයාගේ අපේක්ෂිත ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඔහු ඊට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළා. එම ප්‍රතිශෝධන පෙත්සම ඉකුත් 07 වනදා කොළඹ මහාධිකරණ හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීනිය අධිකරණය හමුවේ පෙනී සිටියා. ඒ අනුව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් පවතින බව දකිමින් අධිකරණ නිවාඩු කාලයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා නොමග යවමින් සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සඳහා නීති විරෝධී ලෙස අල්ලස් කොමිසම විසින් වරෙන්තුවක් ලබා ගෙන තිබෙනවා. මහජන මුදලින් වැටුප් ලබන අල්ලස් කොමිසමේ නිලධාරීන් මේ ආකාරයෙන් බොරු කරන්නේ ඇයි? අල්ලස් කොමිසමේ නිලධාරීන්ට නීතියට ඉහළින් ගොස් කටයුතු කිරීමට හැකියාවක් නැහැ. ඇප පනතේ 25 වන වගන්තිය ප්‍රකාරව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් පවතින අවස්ථාවක වරෙන්තුවක් ඉල්ලා සිටිය යුත්තේ මහාධිකරණයෙන්. එවැනි ඉල්ලීමක් අල්ලස් කොමිසම විසින් මහාධිකරණය හමුවේ සිදුකර නැහැ. අදාල ප්‍රතිශෝධන පෙත්සම ඉකුත් 07 වනදා මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වරෙන්තුවක් ඉල්ලා නොසිටි අල්ලස් කොමිසමට දොළොස්වනදා වන විට වරෙන්තුවක් ලබා ගැනීමට ඇතිවූ හදිස්සිය කුමක්ද? ඒ අනුව අල්ලස් කොමිසම අධිකරණය නොමග යවමින් ලබාගෙන තිබෙන අදාළ වරෙන්තුව ආපසු කැඳවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මෙම සැකකරු විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ඉකුත් 07 වනදා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම පෙත්සමට අදාළව තම කොමිසමට නොතීසි ලැබී තිබුණේ නැහැ. මෙම සැකකරු ප්‍රකාශ ලබාදීම මග හරිමින් සිටි අවස්ථාවේදී ඔහු සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම වරෙන්තුව ලබා ගැනීමට තම කොමිසමට සිදු වුණා. අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. එදිනට විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට දැනුම් දුන්නා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළා. මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස අදහස් පළ කළා. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස අදහස් පළ කළා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් අසූ අට ලක්ෂ පනස් දහසක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා. මහවැලි අධිකාරියට අයත් ඉඩමක මෙම සැකකරු විසින් අනවසරයෙන් ඉදිකළ ගොඩනැගිල්ලක් අරගලකරුවන් විසින් විනාශ කළ බව සඳහන් කරමින් වන්දි ලබාගැනීම සඳහා අයදුම් පතක් ඉදිරිපත් කර තිබෙනවා. අදාල අයදුම්පත මෙම සැකකරු සහ අදාල ඉඩමේ පදිංචිව සිටි මනෝජ් ඒකනායක යන අය විසින් හවුල් අයදුම්පතක් ලෙස ඉදිරිපත් කර තිබුණා. විනාශ වූ බව කියන ගොඩනැගිල්ල රජයේ ඉඩමක පිහිටා තිබූ බැවින් ඊට වන්දි ප්‍රධානය කළ නොහැකි බව හානි පූර්ණ කාර්යාලයේ නිලධාරීන් විසින් ප්‍රකාශ කර තිබෙනවා. ඉන් අනතුරුව මෙම වන්දි මුදල් ලබා ගැනීම සඳහා සැකකරු විසින් හානි පූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් සිදුකර ඇති බව විමර්ශනවලින් අනාවරණය වුණා. මීට අදාළව හානිපූර්ණ කාර්යාලයේ සාමාජිකයෙකු වන නීතිඥ රසික දිසානායක මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. එම ප්‍රකාශය තුළින් මෙම සැකකරු සිදුකළ බලපෑම් පිළිබඳව තොරතුරු අනාවරණය වුණා. මෙම සැකකරු විසින් මහවැලි අධිකාරියේ බලව නේවාසික කළමනාකරට කතාකර “මේක මට ගන්න විදියක් නෑ. ඉක්මනට කරගන්න ඕන” යනුවෙන් බලපෑම් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. පසුව අදාළ නිලධාරීන් විසින් මීට අනුමැතිය ලබා නොදීම නිසා හානි පූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් සිදු කරමින් අදාළ වන්දි ලබාගෙන තිබෙන බව විමර්ශන වලින් පෙනී ගොස් තිබෙනවා. සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තව දුරටත් පැවැත්වෙන බැවින් මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. අල්ලස් කොමිසම විසින් තම සේවාදායකයාට කෙරෙහිව දූෂණ විරෝධී පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා හා පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කළ චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. තම සේවාදායකයාට කුමන්ත්‍රණ චෝදනාව එල්ල කර තිබුණත් ඔහු කුමන්ත්‍රණය කර තිබෙන්නේ කවර පුද්ගලයින් සමග දැයි අල්ලස් කොමිසම පැහැදිලිව කරුණු දක්වා නැහැ. ඊට සම්බන්ධ පුද්ගලයින් මේ දක්වා අත්අඩංගුවට ගෙනත් නැහැ. අරගලකරුවන් විසින් විනාශ කළ දේපළ හිමියන්ට වන්දි ගෙවීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන හානි පූර්ණ කමිටුවක් පත් කර තිබුණා. ඒ අනුව එම කමිටුවට තම තම සේවා දායකයා සහ අදාල ඉඩමේ හිමිකරු විසින් අයදුම් පතක් යොමු කර තිබෙනවා. එම අයදුම්පත හානිපූර්ණ කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව තම සේවා දායකයා ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළා. රජයේ ආයතනයක් විසින් යම් ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම බලපෑමක් වන්නේ කෙසේද? සිය සේවා දායකයා විසින් රජයේ නිලධාරීන්ට බලපෑම් කළ බව තහවුරු කෙරෙන කිසිදු සාක්ෂියක් අල්ලස් කොමිසම විසින් මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර නැහැ. මෙම සිද්ධියට අදාළව තම සේවාදායකයා විසින් වන්දි මුදල් ලබාගෙන නැහැ. එම වන්දි මුදල් ලබාගෙන තිබෙන්නේ ඒකනායක නැමැති පුද්ගලයෙක්. තම සේවාදායකයා බකිංහැම්ෂයර් විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරියෙක්. ඔහු ලබන ඔක්තෝබර් මස නීති විද්‍යාලයේ පළමු වසරේ විභාගයකට පෙනී සිටීමට නියමිතයි. මේ ආකාරයෙන් දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත වීම තුළින් එම විභාග කටයුතුවලට පෙනී සිටීමට බාධාවක් සිදුවිය හැකියි. එය ඔහුට ඇප ප්‍රධානය කිරීම සඳහා සුවිශේෂී කරුණක් සේ සලකන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. ඊට අමතරව තම සේවාදායකයා නින්ද නොයාමේ රෝගයකින් පෙළෙනවා. ඊට ප්‍රතිකර්මයක් ලෙස කිසියම් යන්ත්‍රයක සහායක් ලබා ගැනීමට ඔහුට සිදුවනවා. එහෙත් බන්ධනාගාරය තුළදී එවැනි යන්ත්‍රයක සහයක් ලබාගැනීමට හැකියාවක් නැහැ. එම යන්ත්‍රයේ සහයක් නොලැබුණොත් රෝගී තත්ත්වය උත්සන්න විය හැකියි. මේ තුළින් සැකකරුගේ රුධිර පීඩන තත්ත්වය ඉහළ ගොස් අවසානයේදී මරණය පවා සිදුවීමට ඉඩකඩ තිබෙනවා. මෙම කරුණද සුවිශේෂී කරුණක් සේ සලකා සැකකරු ඇප මත මුදා හරිණ ලෙසයි මා අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.