විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැදකොළඹ ආසනයේ නැගෙනහිර මාලිගාවත්ත සහ ඛෙත්තාරාම කොට්ඨාසයේ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය වෙනුවෙන් පැවැති ජන හමුවක් අමතමින් කල ප්‍රකාශයක් පහතින් දැක්වේ.
අද වන විට රටේ ජනතාව අපේක්ෂා කළ අලුත් ශ්‍රී ලංකාව නිර්මාණය වී ඇත් ද කියා ගැටලුවක් වී ඇති බවත් නගර සභාවේ බලය, පාර්ලිමේන්තුවේ හා ජනාධිපති බලයත් තියා ගෙන වත්මන් රජය කියපු දේවල්, දෙනවා කිව්ව සහන, පොරොන්දු වූ දේවල්, කරනවා කියු සේවාව ඉටු නොකරන බවත් සංවර්ධනයෙන් බැබලෙන නගරයක් බවට පත් කරනවා යැයි කියූ දේවල් අද කිසිවක් ඉටු වී නැති බවත් අද රටේ සංවර්ධනය ක්‍රියාත්මක වෙනවා වෙනුවට අද රටේ ක්‍රියාත්මක වන්නේ පාතාල සංස්කෘතිය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජනතාව ගෙදරින් එළියට බහින විට නැවත ගෙදර එනවාද නැද්ද කියා විශ්වාස නැති බවත් වෙඩි පත්තුවෙයි ද ඝාතනයක් සිදුවෙයි ද කියා අවිනිශ්චිතතාවක් ඇති බවත් මෙරට ජනතාවට අද සමාජ ආරක්ෂාව පවා අහිමි වී ඇති බවත් ජාතික ආරක්ෂාව ද අහිමි වී මේ ආණ්ඩුවේ නොහැකියාව තුළ නීතිය හා සාමය මැර කල්ලිවලට පාතාල කල්ලිවලට බදු දී ඇති බවත් මේ නිසා රටම බියෙන් සැකෙන් පෙළෙන බවත් විපක්ෂ නායකවරයා පැවසිය.
ප්‍රජාතන්ත්‍රවාදය වළ පල්ලට ඇද දමලා තනි පක්ෂ පාලනයකට රට ගෙන යනවා
මහජන නියෝජිතයන්ට තම සේවාව කර ගෙන යාමේ වාතාවරණයක් නොමැති බවත් ප්‍රාදේශීය සභාවල සභාපතිවරු මරා දැමීම විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට මරණ තර්ජන එල්ල වීම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වී යන තත්ත්වය තුළ පාතාලය සමාජය පාලනය කරන තැනට රට වැටි ඇති බවත් පාතාලය සමාජය පාලනය කරන විට ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වීමත් මෙහි වාසිය යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය බැහැර කර තනි පක්ෂ පාලනයක් රටේ ඇති කරන්න උත්සාහ කරන වත්මන් ආණ්ඩුවට බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
නීතිය වල් බිහි වී කැලෑ නීතිය රජ වෙලා
රටේ නීතිය කැලෑ නීතිය වී නිතිය වල් බිහි වී යුක්තිය සාධාරණත්වය ඉටු නොවන තැනක රටේ සියලුම ප්‍රජා සංවිධාන ආදිය ද දේශපාලනීකරණය කර ඇති බවත් සමස්ත සිවිල් සමාජයම තමන්ගේ අතට ගන්න රජය කටයුතු කර ඇති බවත් එවැනි දෙයක් කරලත් මේ රජයට රටේ මිනිමරු සංස්කෘතිය නතර කළ නොහැකි බවත් රජයේ නොහැකියාව නිසා අද ඝාතන සංස්කෘතිය රජ වී මිනිමරු කණ්ඩායම් කුඩු කණ්ඩායම් පාතාල කල්ලි ජන සමාජයේ පාලනය අතට ගෙන ඇති බවත් මේ තත්ත්වය තුළ රටේ පුරවැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ඉඩකඩ පවා අහිමිව ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
මේ පාතාල සංස්කෘතිය නැති විය යුතුයි
කුඩු හා පාතාල කල්ලි මර්දනය කරනවා යැයි රජය කියන දේ වෙනවා නම් හොඳ බවත් මේ සමග වෙඩි තැබිම් මිනිමැරුම් නතර විය යුතු බවත් මන්ත්‍රීවරුන්ට ජනතාවට සේවය කරන්න ඇති අවස්ථාවද නිර්මාණය විය යුතු බවත් මේ රජයට ඒ දේ කරන්න නොහැකි වී ඇති බවත් පුරසාරම් දෙඩුවත් මේ රජයට නීතිය හා සාමය ස්ථාපිත කරන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බොරු කතා නොකියා රජයේ යුතුකම ඉටු කරන්න
රටේ ඡන්ද 3ක් පැවැත්වූවා නම් ජනතාව ඡන්ද දුන්නා නම් වෙනත් කල්ලි සිටිය නොහැකි බවත් ජනාධිපති අගමැති නගරාධිපති කැබිනට් ඇමතිවරු ජවිපේ අය බවත් විපක්ෂය හැරුණු කොට වෙන වෙන කණ්ඩායම්වලට වගකීම් පැවරිය නොහැකි බවත් ආණ්ඩුවේ නොහැකියාව වසා ගන්න කරනවා කියු දේවල් කරන්න නොහැකිව ඉබි ගමනින් යන රජයක් අද තිබෙන මොහොතක මේ අය වෙනත් කතාවන් ගොතමින් යන බවත් එම නිසා බොරු කතා නොකියා ආණ්ඩුවේ යුතුකම ඉටු කරන ලෙසත් මහජන නියෝජිතයන්ට ආරක්ෂාව වහාම සැලසිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.




