අද පස්වරුවේ නුගේගොඩදී පැවැත්වෙන රැළිය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් බව විපක්ෂයේ දේශපාලන පක්ෂ පවසනවා.

මෙම රැළිය සඳහා විශාල ජනකායක් පැමිණෙනු ඇති බවටයි ඔවුන් විශ්වාසය පළ කරන්නේ.

වර්තමාන ආණ්ඩුවේ ක්‍රියා කලාපයට විරෝධය පළ කිරීම මෙහි අරමුණයි.

රැළියට ඇති සූදානම සම්බන්ධයෙන් නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අදහස් පළ කළේ මෙලෙසයි.

කෙසේවෙතත් මෙම රැළිය කිසිදු වටිනාකමක් නොමැති රැළියක් බවයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේ.

මේ අතර නුගේගොඩ මහජන රැළිය පවත්වන ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය යාබදව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක් පවතින බැවින් මහජන රැළිය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේ දී රැළිය පවත්වන පරිශ්‍රය තුළ පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන ලෙස පොලිසිය රැළියේ සංවිධාකයන් දැනුවත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ බලපත්‍ර කොන්දේසි අනුව කටයුතු කරන ලෙස පොලිසිය විසින් බලපත්‍ර ඉල්ලුම්කරුවන් වෙත දැනුම් දී ඇති බවයි.

අද උදෑසන 8.30 සිට උදෑසන 11.40 දක්වා සහ සවස 2.00 සිට 5.00 දක්වා උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේදී පවතින නීති රීතිවලට අනුව කටයුතු කිරීමට හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බාධාවකින් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේදී පවතින නීති රීතිවලට අනුව කටයුතු කරන ලෙසද දන්වා තිබෙනවා.

එමෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට හා විභාග කටයුතු අවසන් වීමෙන් පසුව නැවත පිටව යාමට සහ විභාග පැවැත්වෙන අවස්ථාවේදී ඒ සඳහා කිසිදු බාධාවක් ඇති නොවන අයුරුන් කටයුතු කිරීමට වගබලා ගන්නා ලෙසටයි වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ.

මේ අතර අද පස්වරුවේ නුගේගොඩදී පැවැත්වෙන රැළිය හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කර තිබෙනවා. එහි සම්පූර්ණ වාර්තාව නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.