මේ වන විට යුරෝපයේ පවතින්නේ දැඩි උෂ්ණත්වයක්.

මේ හේතුවෙන් යුරෝපය පුරා ජන ජීවිතයට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

ඇතැම් රටවලට ඉතිහාසයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වාර්තා වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ස්පාඤ්ඤය සහ එංගලන්තයට ජුනි මාසය යනු මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය සටහන් කළ මාසයයි.

ස්පාඤ්ඤයට අතිශයින් උණුසුම් කාලගුණික තත්ත්වයක් වාර්තා වී ඇත්තේ ජුනි, ජූලි සහ අගෝස්තු සඳහා අපේක්ෂිත සාමාන්‍ය උෂ්ණත්වයේ වාර්තා පවා ඉක්මවා යමින්.

එංගලන්තයේ, කාලගුණ විද්‍යා කාර්යාලය පැවසුවේ ජුනි මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය දැන් අභිබවා ගොස් ඇති බවයි.

සමස්තයක් ලෙස 1884 වසරේ සිට එක්සත් රාජධානියෙන් වාර්තා වූ දෙවන ඉහළම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ ජූනි මාසයේදීයි.

ලන්ඩනයේ ශාන්ත ජේම්ස් උද්‍යානයේ සහ හීත්‍රෝ ගුවන්තොටුපළේ, දෛනිකව වාර්තා වූ ඉහළම උෂ්ණත්වය ඊයේ දිනයේ සටහන් වුණා.

ජූනි මාසයේ පෘතුගාලයේ උෂ්ණත්වය සටහන් වී ඇත්තේ සෙල්සියස් අංශක 46යි දශම 6ක් ලෙසයි.

තුර්කියේ ඇති වූ ලැව්ගිනිවලට හේතුව ද අධික උෂ්ණත්වයයි.

ඒ හේතුවෙන් එරට දස දහස් ගණනකට උන් හිටි තැන් පවා අහිමි වුණා.

අධික උෂ්ණත්වය හේතුවෙන් ඉතාලියේ වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව දෙකක්.

අධික උෂ්ණත්වය විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය ද බලපෑම් කර තිබෙනවා.

අධික උෂ්ණත්වය තුර්කියේ සහ ප්‍රංශයේ ජන ජීවිතයට ද එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක්.

අධික උණුසුම් තාප තරංගය හේතුවෙන් පැරිසියේ අයිෆල් කුළුණේ මුදුණත වසා දැමීමට ද කටයුතු කර තිබෙනවා.

කාලගුණික බලධාරින් පැවසුවේ එය පෙර නොවූ විරූ තත්වයක් බවයි.

වසර පහකට පසු පළමු වරට පැරිස් කලාපයේ රතු අනතුරු ඇගවීම් ද ක්‍රියාත්මක කර තිබීම විශේෂත්වයක්.

ඊයේ දිනය තුළ පමණක් ප්‍රංශයේ පාසල් සහ විද්‍යාල 1,896ක් පමණ වසා දැමුනේ අධික උෂ්ණත්වය හේතුවෙන්.