ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අතරට තරුණයින් දෙදෙනෙකු ද ඇතුළත්. මෙම අනතුරු සිදුව තිබුණේ වැල්ලම්පිටිය, කටුවන, වෙරළබඩ සහ තංගල්ල පොලිස් වසම්වලදීයි.
තොටළඟ - අඹතලේ මාර්ගයේ කිත්තම්පහුව ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබුණා. වලස්මුල්ල - මිද්දෙණිය මාර්ගයේ තිරුවානා, බොරැල්ල ප්‍රදේශයේ වංගුව අසලදී මඟී ප්‍රවාහන බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් තවත් අනතුරක් සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
වෙරළබඩ පොලිස් වසමේ කොළඹ වරාය පරිශ්‍රයේ වයි හන්දිය අසලදී කොළඹ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් ඉදිරියෙන් ගමන් කල යතුරුපැදියක ගැටී තවත් අනතුරක් සිදුව තිබුණා. අනෙක් අනතුර සිදුව තිබුණේ කොළඹ - වැල්ලවාය මාර්ගයේ මොරකැටිආර ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටීමෙන්.
මෙලෙස දිගින් දිගටම සිදුවන රිය අනතුරු පාලනය කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමටයි ආණ්ඩුව තීරණය කර ඇත්තේ.
මේ අතර ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පොලිස් නිලධාරින්ට අධිවේගී යතුරුපැදි ලබාදීම සම්බන්ධයෙන් ද අදහස් පළ වුණා.




