කැබිතිගොල්ලෑව, කැළෑපුලියන්කුලම රක්ෂිත සීමාවේ අනවසර දැව ජාවාරමේ යෙදුණු පුද්ගලයින් පිරිසක් ගමන්ගත් කැබ් රථයකට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එහිදී එම කැබ් රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් කැබ් රථයෙන් පළාගොස් තිබෙනවා. එහිදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් කැබ් රථයට වෙඩි තබා ඇති අතර අදාළ කැබ් රථය වවුනියාව ප්‍රදේශය දක්වා කිලෝමීටර 12ක් පමණ නොනවත්වා ධාවනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුරුව කැබ් රථයේ සිටි සැකකරුවන් විසින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ගිලන් රථයක් ගෙන්වා වවුනියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව හා වවුනියාව පොලිසි මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.