අනුරාධපුර මහාධිකරණයේ පැවති ්‍යක්‍ /69/2018 අංක දරණ නඩුවේ විත්තිකරු වන උගඵග අතුල තිලකරත්න නැමැත්තාට ජනාධිපති පොදු සමාව ලබා දී ඇති බව සඳහන් කරමින් සිය අත්සනින් යුතුව ලිපියක් අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස ඔහුගේ නීතිඥනීයින් සිදුකල ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අද තුන්වන වරටත් ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව, අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණරත්න මහතා මේ මස 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

මෙම නඩුව අද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අදහස් දක්වමින් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල්ව විමර්ශන සිදු කරමින් පවතින බවයි.

සැකකරුට ඇප නියම කළහොත් දැනට සිදු කරන විමර්ශනවලට බලපෑමක් සිදුවිය හැකි බවද අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියා.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කළ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ප්‍රශ්නගත සිද්ධියට අදාළ ලිපි ලේඛන විමර්ශන නිලධාරීන් පුළුල්ව අධ්‍යයනය කරමින් සිටින බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් විමර්ශන සිදු කෙරන බවද අතිරේක සොලිස්ටර් ජනරාල්වරිය එහිදී කියා සිටියා.

සැකකරු වෙනුවෙන් දීර්ඝව කරුණු දක්වමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිය සේවාදායකයා ඕනෑම ඇප කොන්දේසියක් මත මුද හරින ලෙසයි.

දෙපාර්ශවයේම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරුව ඇප මත මුදාහරින ලෙස සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු මෙම මස 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.