පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් වූ අනුරාධපුර ශික්ෂණ රෝහල් පුහුණු විශේෂඥ වෛද්‍යවරියක බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනට පවත්වා ඇති විමර්ශනවල උදෘත නීතිපතිවරයාගේ දැනුම්දීම මත නීතිපතිවරයා වෙත යැවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ උප පොලිස් පරික්ෂක ඒ.සී. දයානන්ද මහතා අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ, මෙම අපරාධයට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදීයි.
සැකකාර හිටපු යුද හමුදා සෙබලා විසින් පැහැර ගෙන ගොස් සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගැණුනු වෛද්‍යවරියට අයත් ස්මාර්ට් ජංගම දුරකථනය රජයේ රස පරික්ෂකවරයා වෙත යවා ඊට අදාළ රස පරික්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මීට පෙර පොලිසියට නියෝග කළා. මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු යුද හමුදා සෙබළා මේ මස 29 වනදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
සැකකාර හිටපු යුද හමුදා සෙබලා ඩී.එන්.ඒ පරික්ෂණයක් සඳහා ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද අනුරාධපුර මූලස්ථාන පොලිසියට මීට පෙර නියෝග කර තිබෙනවා.
මෙම සැකකාර හිටපු යුද හුමදා සෙබලා මීට පෙර හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කළ අතර එහිදි පැමිණිලිකාර වින්දිත වෛද්‍යවරිය විසින් ඔහු පහසුවෙන් හඳුනා ගැනිමට සමත් වුණා. පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි, ප්‍රධාන පොලිස් පරික්ෂිකා නිශානි සෙනවිරත්න මහත්මියගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක ඒ.සී. දයානන්ද මහතා පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් මෙවරද කිසිදු නීතිඥයෙකු පෙනී සිටියේ නැහැ. අගතියට පත් පාර්ශවයේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ උපදෙස් මත නීතිඥවරයෙකු පෙනී සිටියා.