ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බිලියන පහක මුදලක් මෝල්ටාවේ ආයෝජනය කර තිබෙන බවට තමන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා අද කොළඹ දිසා අධිකරණය හමුවේ දැනුම් දුන්නා.
ඒ, තමන්ට සිදු කළ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන දහයක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායක මහතා විසින් තිස්ස කුට්ටිආරච්චි හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් අද කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර තිස්ස කුට්ටිආරච්චි මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියා.
මෙම පැමිණිල්ල අද කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිලිකාර අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පළමු වන විත්තිකාර තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් පැමිණිලිකාර අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සිදු කළ මෙම ප්‍රකාශය ඔහු විසින් නිසි පරිදි කරුණු තහවුරු කර ගැනීමකින් තොරව සිදු කළ ප්‍රකාශයක් බව කියා සිටියා.
එම ප්‍රකාශය තුළින් පැමිණිලිකරුට යම් හානියක් වේ නම් ඒ සම්බන්ධයෙන් තමා කොන්දේසි විරහිතව කණගාටුව පළ කරන බව තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් දැනුම් දී ඇති බවත් ඔහු සඳහන් කළා.
එම තත්ත්වය හමුවේ පැමිණිලිකාර අනුර කුමාර දිසානායක මහතා මෙම නඩුවෙන් ඉල්ලා තිබෙන සහන තවදුරටත් අපේක්ෂා නොකරන බවත් මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයාමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බවත් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියා.
එම සමථ කොන්දේසිය යටතේ මෙම නඩුකරය සමථයට පත් කිරීමට තම සේවාදායකයා සූදානම් බවයි විත්තිකාර තිස්ස කුට්ටිආරච්චි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාද අධිකරණයට දන්වා සිටියේ.
ඒ අනුව එම කරුණු සටහන් කර ගත් අධිකරණය අදාල නඩුව සමථයට පත් කිරීමට නියම කළා.
2023 වසරේ අගෝස්තු මස 19 වනදා මැද කොළඹ මැතිවරණ කොට්ඨාශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන රැලියකදී අදහස් දැක්වූ තිස්ස කුට්ටිආරච්චි මහතා පැමිණිලිකාර අනුර කුමාර දිසානායක මහතා විසින් බිලියන පහක මුදලක් මෝල්ටාවේ ආයෝජනය කර තිබෙන බවට ප්‍රකාශ කර තිබූ බව එම නඩුව තුළින් චෝදනා එල්ල කර තිබුණා.
එම ප්‍රකාශය තුළින් තමන් වංක චේතනාවකින් ක්‍රියාත්මක වන දූෂිත පුද්ගලයෙකු ලෙසත් සැඟවුණු අරමුණු මත විදේශයන්ගෙන් විශාල මුදල් ලබාගන්නා අයෙකු බවටත් හුවා දැක්වීමට විත්තිකාර හිටපු මන්ත්‍රීවරයා කටයුතු කර තිබෙන බව අනුර කුමාර දිසානායක මහතා සිය පැමිණිල්ල මඟින් සඳහන් කර තිබුණා.
තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් සිදු කළ මෙම ප්‍රකාශය තුළින් ඔහු තමන්ව දූෂිත පුද්ගලයෙකු ලෙස හඳුන්වාදීමට උත්සාහ කර ඇති බවත් මේ තුළින් සිය කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන දහයක වන්දියක් ඔහුගෙන් අය කර දෙන ලෙසත් ඉල්ලා අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම නඩුව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබුණා.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාද අධිකරණය හමුවේ පෙනී සිටියා.
අදාල පෙත්සමේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි සහ පවර් හවුස් ලිමිටඩ් යන අය නම් කර තිබුණා.