අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළඳ ආයතනයක් තුළදී එහි කළමනාකරු වෙඩි තබා ඝාතනය කිරීමට අදාල පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර කාන්තාවක් ද වන බවයි පොලීසිය පැවසුවේ.

අදාල ඝාතනයට යොදාගත් බව සැක කෙරෙන ගිනි අවි දෙකක් සහ ඊට යොදන උණ්ඩ කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුමාරකන්ද, රත්ගම සහ බලපිටිය ප්‍රදේශවලදීයි. ඒ, ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්වයි.

පසුගිය 22 වනදා පෙරවරු 08.00ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු විසින් එම වෙළඳ ආයතනය තුළට ගොස් එහි කළමනාකරු වෙඩි තබා ඝාතනය කර තිබුණා.

එම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් විමර්ශන ආරම්භ කළා.

ඒ අනුව ඝාතනයට ලක් වූ එම වෙළඳ ආයතනයේ කළමනාකරුගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණ වූ බවයි පොලීසිය පැවසුවේ.

ඔහු සංවිධානාත්මක අපරාධකරුවන් සිව්දෙනෙකු සමග සබඳතා පවත්වා ඇති බවත් මුදල් ගණුදෙනු සිදුකර ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඒ හරහා සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඔහු සැකකරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කළ අයෙකු බවයි.

ඔහුට මහාධිකරණයේ විභාග වන නඩු දෙකක් සඳහා විවෘත වරෙන්තු ද නිකුත් කර තිබෙනවා.

මෙම ඝාතනය සිදුව තිබුණේ 2022 වසරේ අගෝස්තු මස දෙවනදා මුල්ලේරියාව රෝහල අසලදීයි.