අම්බලන්ගොඩ නගරයේ සිදුවූ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී අම්බලන්ගොඩ නගර සභාව වෙනුවෙන් සමගි ජන බලවේගයෙන් තරඟවැදුණු හිරාන් කෝසල මහතා බවට අනාවරණ වී තිබෙනවා.

අම්බලන්ගොඩ නගරයේ වෙළඳ ආයතනයක කළමනාකරුවෙකු ලෙස සේවය කරනු ලැබූ ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ එම වෙළඳ ආයතනය තුළදී බවයි පොලීසිය පැවසුවේ.

 

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළඳ ආයතනයක් තුළදී වෙඩි තැබීමක් සිදුව තිබුණේ අද පෙරවරු 08ට පමණයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු එම වෙළඳ ආයතනය තුළට ඇතුළු වී වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී ජිවිතක්‍ෂයට පත්ව ඇත්තේ එම වෙළඳ ආයතනයේ කළමනාකරු ලෙස කටයුතු කළ හිරාන් කෝසල නමැත්තා බවද පොලීසිය පැවසුවා.

ඔහු පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී අම්බලන්ගොඩ නගර සභාව වෙනුවෙන් සමගි ජන බලවේගයෙන් තරඟ කර තිබෙනවා.

මේ අතර, ඔහු අපරාධ කල්ලි සාමාජිකයන් සමග සබඳතා පැවැත්වූ අයෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති බවද පොලීසිය පැවසුවා.

ඒ අනුව අපරාධ කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිපලයක් ලෙස ඔහු වෙඩි තබා ඝාතනය කරන්නට ඇති බවටයි වාර්තා වන්නේ.

අදාළ වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය කුරුඳුවත්ත ආඳාදොළ ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

වෙඩි තැබිම සිදු කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.