අම්බලන්ගොඩ, නගර සභාවට අයත් ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිටදී අද උදෑසන පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සැකකරුවන් පැමිණි මෝටර් රථය සොයා ගෙන තිබෙනවා. ඒ, කරන්දෙණිය එගොඩවෙල මංසන්ධියේ තිබියදීයි.
අම්බලන්ගොඩ, නගර සභාවට අයත් ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදු වුණේ අද පෙරවරු 10.30ට පමණයි. එහිදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අයෙක් ඉලක්ක කර මෝටර් රථයක පැමිණි පිරිසක් වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණා. වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ බලපිටිය රෝහලටයි. ඔහුගේ මුහුණට හා පපුවට වෙඩි ප්‍රහාර 4ක් එල්ලවී තිබූ බවයි වාර්තා වන්නේ. පසුව ඔහු මිය ගියා. ව්‍යාපාරිකයෙකු වන ඔහු ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
එලෙස මියගිය පුද්ගලයා පසුගිය පළාත් පාලන මැතිවරණයට සමගි ජනබලවේගයෙන් අම්බලන්ගොඩ නගර සභාවට තරඟ වැද පරාජයට පත්ව ඇති බවටද වාර්තා පළ වනවා. ඔහු විදෙස්ගතව සැඟවී සිටින අපරාධකරුවකු වන ‘කරන්දෙණිය සුද්දා‘ නම් අපරාධකරුගේ මස්සිනා බවටයි පැවසෙන්නේ.
පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කපු මහතා ප්‍රධානත්වය දරන මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කර තිබෙනවා.