අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශ විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ, විශේෂඥයින් මඟින් විධිමත් වාර්තාවක් ලබාගැනීමෙන් පසු අම්බුළුවාව කන්දේ අවදානම් තත්ත්වය පිළිබඳ තීරණයක් ගන්නා තුරුයි.

අම්බුළුවාව පාරිසරික කලාපයේ පාලනයට අදාළව මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය නියෝජනය කරමින් විශේෂඥ කමිටුවක් පත්කිරීමට ද යෝජනා වී ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර, පරිසර අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකරුවන් ඒකාබද්ධව අම්බුළුවාව පාරිසරික කලාපය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක් සිදුකිරීමට ද ඉදිරියේ දී කටයුතු කරන බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ.

අම්බුළුවාව යනු මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටි, සංචාරය සඳහා යා හැකි සොදුරු ස්ථානයකි.

මෙය ගම්පොළ නගරයට පිවිසෙන සියලුදෙනාට ඉතා අලංකාරවත් අයුරුදින් දිස්වෙන කඳු මුදුනක් වන අතර, එහි මේ වනවිට ඉදිකර ඇති අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය දෙස් විදෙස් ජනතාවගේ ආකර්ශනය දිනාගත් ස්ථානයක්ද වනවා.