අද අමෙරිකානු දේශපාලනයේ සුවිශේෂී දිනයක් සටහන් වුණා. ඒ, අමෙරිකාවේ විශාලම නගරය වන නිව්යෝර්ක්හි නගරාධිපති ධූරයට පළමු වරට මුස්ලිම් ජාතිකයෙකු තේරී පත්වෙමින්.

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර නගරාධිපති ධුරය සඳහා මෙලෙස තේරී පත් වුණේ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක 34 හැවිරිදි සොහ්රාන් මම්දානි. අමෙරිකාවේ ඊයේ පැවැති ඡන්ද විමසීමේදී හිටපු ආණ්ඩුකාරවරයෙක් ද වන ස්වාධීන අපේක්ෂක ඇන්ඩෲ කූමෝයි පරාජයට පත් කරමින් ඔහු මෙම ජයග්‍රහණය වාර්තා කළා. ඉන්දු - අමෙරිකානු සම්භවයක් සහිත සොහ්රාන් මම්දානි, සුප්‍රකට ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරියක වන මීරා නායර්ගේ පුත්‍රයා ද වනවා.

සොහ්රාන් මම්දානි මෙලෙස නගරාධිපති ධූරයට පත් වුණේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනතුරු ඇඟවීමක් ද කර තිබියදී වීම විශේෂත්වයක්. යම් හෙයකින් මම්දානි නිව්යෝර්ක් නගරාධිපති ධුරයට පත් වුවහොත්, නගරයට ලබාදෙන රජයේ අරමුදල් සීමාකරන බවටයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ. කෙසේවෙතත් “ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියා” ලෙස තමන් හඳුන්වාගත් මම්දානි දේශපාලන අන්ධකාරයේ පවතින නිව්යෝක් ආලෝකමත් කරන බවට සිය ජයග්‍රාහී කතාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

සොහ්රාන් මම්දානි මීට මාස කිහිපයකට පෙර එතරම් ජනප්‍රිය පුද්ගලයෙකු නොවූ නමුත් පසුව සමාජ වැඩසටහන් සඳහා කෝටිපතියන්ගෙන් බදු අයකර ගන්නා බවට පොරොන්දු ලබාදීමත් සමග අතිශය ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත් වුණා.

මේ අතර බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමු මුස්ලිම් නගරාධිපතිවරයා වූ සාදික් ඛාන් ද අමෙරිකාවේ නිව්යෝක්හි පළමු මුස්ලිම් නගරාධිපතිවරයා ලෙස තේරී පත් වූ සොහ්රාන් මම්දානිට සුබ පැතුම් එක්කර තිබෙනවා.