අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඔහු පැවසුවේ හෙට දින රුසියානු ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවයි.

ඒ අනුව තමන් අද දින මොස්කව් වෙත පියාසර කරන අතර හෙට දින රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග සාකච්ඡාවක නිරත වීමට නියමිත බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරනවා.

ඉරානයට එල්ල කරන ලද අමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානය පමණක් නොව ට්‍රම්ප් ඔහුගේම අධාරකරුවන් ද පවා දී ඇති බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඉරාන විදේශ අමාත්‍යවරයා පවස්නේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය සඳහා ඇති කැපවීම අනිසි ලෙස භාවිතා කිරීමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සහ ට්‍රම්ප්ගේ ඡන්දදායකයින් ද රවටා ඇති බවයි.

එමෙන්ම ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාව එල්ල කළ ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය සමාව දිය නොහැකි ලෙස උල්ලංඝනය කිරීමක් බවද ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර හූති කැරළිකරුවන් සඳහන් කර ඇත්තේ අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය “ආක්‍රමණශීලී ක්‍රියාවක්” බවයි.

මේ හේතුවෙන් අමෙරිකානු ප්‍රහාරයකට ලක්වන ඕනෑම අරාබි හෝ මුස්ලිම් ජාතියකට සිය සහයෝගය ලබා දෙන බවද හූති කැරළිකරුවන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව විශ්ලේෂකයින් අනතුරු අඟවා ඇත්තේ හූතිවරුන්ගේ මෙම මැදිහත්වීම මත කලාපීය නාවික වෙළඳ මාර්ග තවදුරටත් අස්ථාවර කළ හැකි බවයි.

ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ ඒ සම්බන්ධයෙන් දුරකථනයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ ඊශ්‍රායල – ඉරාන යුද ගැටුමෙහි දසවන දිනට පිවිසීමත් සමඟ මැද පෙරදිග කලාපයේ ඉහළ යන ආතතීන් ගැන එම ඇමතුමේදී සාකච්ඡා කර ඇති බවයි.

එම තත්ත්වය උග්‍රවීම මැඩපැවැත්වීම සඳහා සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය අවශ්‍ය බව ඉරානය පවසා ඇති බවත් ඉන්දීය විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිනිත්තු 45ක් පමණ පැවති එම ඇමතුමේ දී ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් අගමැති මෝදීට ස්තූති පලකර තිබෙනවා.

ඉන්දියාව, කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේ මිතුරෙකු සහ හවුල්කරුවෙකු වන බවද ඉරානය පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

එලෙස ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවේ ෆෝර්ඩෝ සහ නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ එස්ෆහාන් න්‍යෂ්ටික කලාපවලටයි.

අමෙරිකානු දූපතක් වන ගුවාම් දූපත වෙත යවන ලද B-2 නම් රහසිගත බෝම්බ හෙලන යානා මගින් එම ප්‍රහාර එල්ල කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ජාතිය අමතනු ලැබුවා.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ ඉරානය දැන් සාමය ඇති කර ගත යුතු බවත් ඔවුන් එසේ නොකළහොත් අනාගත ප්‍රහාර බොහෝ විශාල වනු ඇති බවයි.

එමෙන්ම සිදුකළ ප්‍රහාර විශ්මයජනක මිලිටරි සාර්ථකත්වයක් ළඟා කර ගත් බවට තමාට ලෝකය හමුවේ පවසා සිටිය හැකි බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනු ලැබුවා.

මේ අතර අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට එල්ල කළ ප්‍රහාරය සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානයේ උද්ගතව ඇති හදිසි තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හෙට දිනයේ මෙම රැස්වීම කැඳවා ඇති බවයි.

අමෙරිකාව සිදුකළ ප්‍රහාර පිළිබඳව විමර්ශනයක් අවශ්‍ය බවට ඉරාන න්‍යෂ්ටික වැඩසටහන් ප්‍රධානී මොහමඩ් එස්ලාම් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය වෙත ලිඛිත දැනුම් දීමක් ද සිදුකර තිබෙනවා.

අමෙරිකානු ප්‍රහාරය හෙළා දකින ලෙසට ඉරානය ඉල්ලා ඇති බවද එම ලිපියේ සඳහන්

මේ අතර අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් විකිරණ මට්ටමේ වැඩිවීමක් සිදුව නොමැති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය තහවුරු කර තිබෙනවා.

මේ අතර ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට එල්ල වූ ප්‍රහාරයෙන් පසු රතු මුහුදේ දී අමfරිකානු නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව යේමනයේ හූති කැරලිකරුවන් පවසා තිබෙනවා.

අමෙරිකාව විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් හූතිවරු මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යේමනයේ අභ්‍යන්තර ගැටුමේදී ඉරානය විසින් හූතිවරුන්ට සහාය දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. ඉරානය සමඟ එක්ව සිටින හූති කැරළිකරුවන් විසින් රතු මුහුදේ සහ ඒඩන් බොක්කෙහි නැව් ගමනාගමනය ඉලක්ක කර ගෙන සිටිනවා.

මේ හේතුවෙන් ලෝකයේ වඩාත්ම වැදගත් සමුද්‍රීය කොරිඩෝවක් හරහා ගමන් කරන වාණිජ හා හමුදා යාත්‍රා සඳහා අවදානමක් එල්ල විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.