තායිවානය වටා චීනයේ මිලිටරි ක්‍රියාකාරකම් තීව්‍ර කිරීම නීත්‍යානුකූල නොවන සහ අස්ථාවර කිරීමක් ලෙස අමෙරිකාව හෙළා දැක ඇති බව තායිපේ ටයිම්ස් වාර්තා කරයි.

තායිවානයේ වාර්ෂික හැන් ක්වාං හමුදා අභ්‍යාසවලට දින කිහිපයකට පෙර අමෙරිකාව මේ බව පවසා ඇත.

තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, ඉකුත් බ්‍රහස්පතින්දා පමණක් තායිවානය ආසන්නයේ ක්‍රියාත්මක වූ චීන හමුදා ගුවන් යානා 41 ක් සහ නාවික යාත්‍රා 8 ක් හඳුනාගෙන තිබේ.

ගුවන් යානා අතරින් 27ක් තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව තරණය කර දිවයිනේ උතුරු, මධ්‍යම සහ නිරිතදිග ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයට ඇතුළු වූ බව තායිපේ ටයිම්ස් වාර්තා කරයි.

තායිවානයේ සන්නද්ධ හමුදා ආක්‍රමණය නිරීක්ෂණය කිරීම සඳහා මුර සංචාර ගුවන් යානා, නාවික යාත්‍රා සහ වෙරළබඩ මිසයිල පද්ධති යෙදවීමෙන් ප්‍රතිචාර දැක්වූ බව තායිවාන ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු තායිවානයේ මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ, තායිපේ ටයිම්ස් විසින් උපුටා දක්වන ලද පරිදි, තායිවානය වටා චීනයේ වර්ධනය වන මිලිටරි පීඩනය වගකීම් විරහිත වන බවයි.

එමෙන්ම චීනයේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් කලාපයේ ආතතීන් වැඩි වීමේ අවදානමක් ඇති බව ද අමෙරිකාව පවසයි.