යුක්‍රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපා රටවල නායකයින් සමඟ සමුළුවකට එක්වීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. එම සමුළුව අන්තර්ජාලය ඔස්සේ හෙට දිනයේ පැවැත්වීමට නියමිත බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. යුක්‍රේන ජනාධිපතිවරයා අමෙරිකානු ජනාධිපතිවරයා සහ යුරෝපා නායකයින් සමග එලෙස සාකච්ඡාවකට එක්වන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් අතර ලබන සිකුරාදා පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙරයි. ලබන සිකුරාදා ඇලස්කාවේදී අමෙරිකානු සහ රුසියානු නායකයින් හමුවීමට නියමිතව ඇත්තේ යුක්‍රේන යුද්ධයට අදාල සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. දිගු කලක් තිස්සේ පැවති විවිධ වාද විවාදවලින් පසු අමෙරිකා - රුසියා නායකයින් අතර එම සාක්ච්ඡාව පැවැත්වීමට දින නියම වූ බව ධවල මන්දිරය විසින් ඊයේ ප්‍රකාශ කළා. රුසියානු ජනපති ව්ලැද්මීර් පුටීන් විසින් එම සාකච්ඡාව සඳහා එම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. දෙරටේ නායකයින් එලෙස සාකච්ඡාවකට එක්වීමට නියමිතව ඇත්තේ 2021 වසරෙන් පසුවයි. කෙසේවෙතත් යුක්‍රේනයට අදාල කරුණු සාකච්ඡාවට ගැනෙන එම හමුවට යුක්‍රේන ජනාධිපතිවරයා සහභාගී නොවීම ගැටලු සහගත බව ඇතැම් යුරෝපා නායකයින් පෙන්වා දී තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැද්මීර් පුටීන්ගේ හමුවට පෙර යුක්‍රේන ජනාධිපතිවරයා යුරෝපා නායකයින් සහ අමෙරිකානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදානම් වන්නේ මෙවැනි පසුබිමක් තුළයි.
Published