2026 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද ආරම්භ වනවා.

එය අද සිට දින 17ක් පැවැත්වීමට නියමිතයි.

පසුව අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඊයේ පස්වරුවේ වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 160ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 42ක්.

මන්ත්‍රීවරුන් 08 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියා.

මෙහිදී විපක්ෂය නියෝජනය කරන මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් හා ජීවන් තොණ්ඩමන් යන මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.