බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ ඇතැම් ස්ථානවල මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

එමෙන්ම ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝ මීටර් 50ත් 60ත් අතර පරාසයක සුළං ඇතිවිය හැකි බවද අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර, අයහපත් කාලගුණයත් සමග මාර්ග භාවිත කරන රියදුරන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් සිදු කරනවා. මේ, වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී වුට්ලර් මහතා.

මේ දිනවල අධිවේගී මාර්ග භාවිත කිරීමේදී වේග සීමා පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.