අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මන්නාරම ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා විසින් ඊයේ බරපතළ වැඩ සහිත වසර 10ක සිර දඬුවම නියම කළා

මෙසේ දඬුවම් නියම වූයේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි ඉලංගෝවන් තිලීපන් නැමැති 21 හැවිරිදි තරුණයෙකුටය.

2022 වසරේ නොවැම්බර් මස 03 වනදා අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය විසින් මන්නාරම, එලුතූර් හන්දිය අසලදී මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන් අනතුරුව 2008 අංක 1 දරන මාදක ඖෂධ සහ මනෝවර්ථක පනත යටතේ මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබුණා.

නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් තොරව සනාථ වී ඇති බවයි.

ඒ අනුව විත්තිකරුට මෙම දඩුවම නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.