අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් සැකකරු පිළියන්දල සහ මහරගම යන ප්‍රදේශවල මෙම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 250ක් ද සොයා ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පැවසුවා. එලෙස සොයා ගත් අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 40ක් පමණ වන බවටද අනාවරණ වී තිබෙනවා. සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී, මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු ජාඇල ප්‍රදේශයේ පදිංචි බවත් ජාවාරමෙන් උපයාගන්නා මුදල්, ප්‍රධාන සැකකරුගේ ඥාති සහෝදරියක විසින් පාලනය කරන බවත් අනාවරණ වී තිබෙනවා. ඒ අනුව රුපියල් ලක්ෂ 05ක මුදලක්ද සමග ඇයද අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පැවසුවේ. මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සැකකරු ප්‍රදේශය හැරගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළේ.