අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා මෙරටට ගෙන්වූ රසායනික ද්‍රව්‍ය තවත් ස්ථානවල සඟවා ඇත්දැයි සොයා පොලීසිය පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

එම රසායනික ද්‍රව්‍ය මිද්දෙණිය, තංගල්ල නෙටොල්පිටිය සහ කඳාන ප්‍රදේශයේ ස්ථාන තුනකින් ඉකුත් දින කිහිපය තුළ සොයා ගැණුනා.

කෙහෙල්බද්දර පද්මේගේ මෙහෙයවීම මත එම රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50,000කට ආසන්න ප්‍රමාණයක් පසුගිය කාලසීමාවේදී විදෙස් රටක සිට මෙරටට එවා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව එම රසායනික ද්‍රව්‍ය සඟවා ඇති තවත් ස්ථාන තිබේදැයි සොයා අදාළ විමර්ශන ක්‍රියාත්මක වනවා.

මිද්දෙණිය ප්‍රදේශයෙන් එම රසායනික ද්‍රව්‍ය සොයා ගත් ඉඩමේ වළ දමා ඇති එම රසායනික ද්‍රව්‍ය සොයා ඊයේ දිනයේදීද පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළා.

භූගත ද්‍රව්‍ය හඳුනාගැනීමට යොදා ගන්නා ස්කෑන් යන්ත්‍ර උපයෝගී කර ගනිමින් එම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

අදාළ ඉඩමේ තිබී පොලිස් නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරී සඳහා භාවිත කරන ඇඳුම් සහ උපාංග කිහිපයක් ද සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.