2022 වසරේ ජූලි මස අරගලකරුවන් පාලනය කිරීම සඳහා එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා. වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මහජන ආරක්ෂක පනතේ 02 වන ඡේදය යටතේ 2022 වසරේ ජූලි මස 17 සහ 18 යන දිනවල නිකුත් කරනු ලැබු හදිසි අවස්ථා රෙගුලාසි අත්තනෝමතික මෙන්ම බල ශූන්‍ය බවත්, ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් ලෙස කටයුතු කළ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන බහුතර විනිසුරුවරුන් ලබා දුන් තීන්දුවේ සඳහන් වුණා.

එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ අනෙක් සාමාජිකයා වූ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සදහන් කළේ වැඩබලන ජනාධිපතිවරයාගේ හදිසි නීති ප්‍රකාශය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බවයි.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත්කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙම නඩුකර පවත්වාගෙන යාමට නොහැකි බවට වගඋත්තරකාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බව පැවසුවා.

මෙම හදිසි අවස්ථා රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නිසි අනුමැතිය ලබාගෙන තිබෙන බැවින් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව වග උත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පෙන්වා දී තිබුණා.

එහෙත් එම මූලික විරෝධතාව පදනම් විරහිත බවත් එය ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා පැවසුවා.

2022 වසරේ මාර්තු මස අග සිට රටේ විවිධ ස්ථානවල මහජන උද්ඝෝෂණ හටගත් බවත් අවසානයේදී එම තත්ත්වය උත්සන්න වී එම වසරේ ජූලි මස 09 වනදා අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කර ගැනීමට කටයුතු කළ බවත් විනිසුරුවරයා කියා සිටියා.

එම තත්ත්වය හමුවේ බලයේ සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පලාගොස් ජුලි මස 13 වනදා සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කළා.

එම අවස්ථාවේදී රට තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කොට ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන හැම සඳහා ඉන් අනතුරුව වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන් පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජූලි මස 17 සහ 18 යන දිනවල මහජන ආරක්ෂක පනතේ දෙවන ඡේදය යටතේ රට පුරා හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරනු ලැබු බව වගඋත්තරකාර පාර්ශ්වය සඳහන් කර තිබුණා.

නඩු විභාගයේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී මහජන ආරක්ෂක පනතේ දෙවන ඡේදය යටතේ වැඩ බලන ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථාව නිසියාකාරව ප්‍රකාශ කර තිබේද? යන කරුණ අධිකරණයේ අවධානයට යොමු වූ බවයි විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ.

මහජන ආරක්ෂක පනත යටතේ හදිසි අවස්ථාව ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයාට ඇති බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්ද දක්වා ඇති බව සඳහන් කළ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වන ව්‍යවස්ථාව යටතේ විධායක ක්‍රියාවක නීත්‍යානුකූල භාවය පරීක්ෂා කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරී තිබෙන බවත් සඳහන් කර සිටියා.

ඒ අනුව මෙම පෙත්සම විභාග කිරීමට තම අධිකරණයට බලයක් නොමැති බවට වග උත්තරකරුවන් විසින් මතු කරනු ලැබූ විරෝධතා ඉවත දමන බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව අදාළ අවස්ථාවේ වැඩ බලන ජනාධිපතිවරයා විසින් රට පුරා හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීමට ගත් තීරණය පදනම් විරහිත බවත් මෙම හදිසි අවස්ථා ප්‍රකාශය නිකුත් කිරීමේදී වැඩබලන ජනාධිපතිවරයා විසින් පුළුල් ලෙස කරුණු සැලකිල්ලට භාජනය කර තිබෙන ආකාරයක් අධිකරණයට පෙනී නොයන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

ඒ අනුව වැඩබලන ජනාධිපතිවරයා විසින් පනවා තිබූ මෙම හදිසි අවස්ථා ප්‍රකාශය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි අත්තනෝමතික ප්‍රකාශයක් බව අධිකරණය විසින් තීන්දු කරන බවත් විනිසුරු කෝදාගොඩ මහතා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

වැඩබලන ජනාධිපතිවරයා විසින් නිකුත් කළ මෙම හදිසි අවස්ථා ප්‍රකාශය තුළින් පෙත්සම්කරුවන්ගේ මෙන්ම මහජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද විනිසුරුවරයා සඳහන් කළා.
මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර විනිසුරු මඩුල්ල නීතිපතිවරයා වෙත තවත් නියෝගයක් නිකුත් කරමින් මෙම නඩු තීන්දුව නිකුත් වූ දින සිට මාස තුනක් ඇතුළත එහි අන්තර්ගතය පිළිබඳව විමර්ශනය කර ජනාධිපති ලේකම් කාර්යාලයට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලෙසත් සඳහන් කළා.

ඊට අමතරව පෙත්සම්කරුවන්ට අදාල නඩු ගාස්තු ගෙවන ලෙසත් බහුතර විනිසුරු මඩුල්ල විසින් රජයට නියෝග කළා.

ඉන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රශ්නගත අවස්ථාවේ මහජන ආරක්ෂක පනත යටතේ හදිසි අවස්ථාව ප්‍රකාශයට පත්කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණය නීත්‍යානුකූල බව පැවසුවා.

එම අවස්ථාවේදී රටේ පැවති නොසන්සුන්කාරී තත්ත්වය සහ අත්‍යවශ්‍ය සේවාවන් නොකඩවා පවත්වාගෙන යාමේ අරමුණින් මෙම හදිසි අවස්ථාව ප්‍රකාශයට පත්කර තිබෙන ආකාරය පෙනී යන බවත් විනිසුරු ඔබේසේකර මහතා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිගා සත්කුණනාදන් සහ ලිබරල් තරුණ ව්‍යාපාරය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.