රක්‍ෂිත බන්ධනාගාරගත කළ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටිනවා. ඊයේ පස්වරුවේ එම බන්ධනාගාරය වෙත රැගෙන ආ ඔහු ‘එන්’ වාට්ටුවේ රැඳවූ බවයි බන්ධනාගාර මූලස්ථාන ආරංචි පැවසුවේ. එම වාට්ටුවේ ඔහු සමග සැකකරුවන් 10 දෙනෙකු රඳවා සිටිනවා. විවිධ චෝදනා යටතේ රක්‍ෂිත බන්ධනාගාරගත කළ රජයේ සේවකයන් පමණක් එම වාට්ටුවේ රඳවා සිටින බවද බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවා. ඉන් වැඩිම පිරිස පොලිස් නිලධාරීන් වනවා. ඊට අමතරව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකුද එම වාට්ටුවේ රඳවා සිටින බව බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවා. රක්‍ෂිත බන්ධනාගාරගත කළ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවූ පසු ඊයේ රාත්‍රියේ බන්ධනාගාර වෛද්‍යවරයෙකු පරීක්‍ෂා කර තිබෙනවා. එහිදී අනාවරණ වී ඇත්තේ සැකකාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි. ඒ අනුව ඔහු එන් වාට්ටුවේ රැඳවු බවද බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවා. කෙසේවෙතත් අද දිනයේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර වෛද්‍යවරයෙකු පරීක්‍ෂා කිරීමට නියමිතයි. අල්ලස් කොමිසම විසින් ඊයේ දින අත්අඩංගුවට ගත් ඔහු කොළඹ මහේස්ත්‍රාත්ධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, වෙනත් පුද්ගලයෙකු නමින් පුද්ගලික බැංකු තුනක ගිණුම් තුනක් විවෘත කර, එම ගිණුම්වලට සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන්, පොලීසියට පැමිණ සේවාවන් ලබාගන්නා පුද්ගලයින්ගෙන් හා අනෙකුත් අපරාධකරුවන්ගෙන් අල්ලස් ලෙස රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයකට අධික මුදලක් ලබා ගැනීම සහ එම මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාව මතයි.
Published