2019 වසරේ එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානය අලුත් වැඩියා කිරීමේ කටයුතු සඳහා රාජ්‍ය ඉංජිනේරු  සංස්ථාවේ සේවකයින් හා දේපල යෙදවීම තුළින් රජයට රුපියල් මිලියන 1.6 කට අධික පාඩුවක් සිදු කළේ යැයි අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එහි ,හිටපු විධායක අධ්‍යක්ෂ නිලූ දිල්හාර විජේදාස නමැත්තා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියම කළා.
ඊට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු වෙත කොන්දේසියක් පණවනු ලැබුවා.
ඉන් අනතුරුව පැමිණිල්ල යළි දෙසැම්බර් මස 09 වනදා කැඳවීමට ද නියම වුණා.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ විගණන විමසුමකදී හෙළිදරව් වූ තොරතුරු මත 2021 වසරේ මෙම විමර්ශනය ආරම්භ කළ බව සඳහන් කළා.
එහිදී අදාළ මෙම සැකකරු හා අදාළ සංස්ථාවේ හිටපු ක්‍රියාකාරික අධ්‍යක්ෂ පී. ජයතිලක යන අය එක්සත් ජාතික පක්ෂයේ වහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා හමුවී සිරිකොත පක්ෂ මූලස්ථානය අලුත් වැඩියා කිරීමට අදාලව ඇස්තමේන්තුවක් ලබාගෙන තිබෙන බව සඳහන් කළා.
රාජ්‍ය ඉංජිනේරු නීතිගත සංස්ථාවට පෞද්ගලික ආයතනවල කොන්ත්‍රාත් කටයුතු කිරීමට බලය පැවරී තිබුණත් එය සිදු කළ හැක්කේ අදාල ආයතන වලින් නිසි ගාස්තු අය කිරීමකින් පසුව බවත් ඇය පෙන්වා දුන්නා.
ඒත් සිරිකොත ආයතනය අලුත් වැඩියා කිරීමේ කටයුතුවලදී එවැනි ගාස්තු කිසිවක් අය කිරීමකින් තොරව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ යොදවමින් අදාල අලුත් වැඩියා කටයුතු සිදුකර තිබෙන බවත් ඒ තුළින් රජයට  රුපියල් 1667294/- ක් පාඩුවක් සිදු කර ඇති බවත් ඇය චෝදනා කළා.
මේ තුළින් දූෂණ විරෝධී පනත යටතේ සැකකරු "දූෂණය" නැමැති වරද සිදුකර ඇති බවත් ඇය චෝදනා කළා.
මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදු කරන අතර මෙම සිද්ධියට සම්බන්ධ අදාළ සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බවත් ඇය අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.
මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පෞද්ගලික කොන්ත්‍රාත් කටයුතු ඉටු කිරීමට බලය තිබෙන බව සඳහන් කළා.
අදාළ සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීමෙන් මෙම කටයුතු සිදු වී ඇතැයි පෙන්වා දුන් අදාල නීතිඥවරයා සැකකරු ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත දෙසැම්බර් මස 09 වනදා කැඳවන ලෙස නියම කළා.