දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යධිකාරීවරයෙකු වන සුමතිපාල මහනාම අබේවික්‍රම මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබුවා.

අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් දුම්රිය අනතුරක් සම්බන්ධයෙන් සිදු කරන ලද විනය පරීක්ණයකින් අනතුරුව වහාම සේවයෙන් පහ කිරීමට නියම කරන ලද දුම්රිය රියදුරුකු වන අයි.එල්.කේ. දසනායක නමැත්තා සේවයෙන් පහ නොකොට සේවයේ රැඳී සිටීමට අවසර දීම තුළින් ඔහුට වාසියක් සලසා දී දූෂණය නැමැති වරද සිදුකර ඇති බව අධිකරණයට දැනුම් දුන්නා.

මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් වී ඇති බවත් එම නිලධාරින් අධිකරණය හමුවේ පැවසුවා.

ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළා.

ඉන් අනතුරුව පැමිණිල්ල ලබන පෙබරවාරි මස 20 වනදා කැඳවීමටද නියම වුණා