අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලිගාවිල – මොනරාගල මාර්ගයේ වීරගස් හංදිය අසලදීයි.

ඒ, ඔක්කම්පිටිය ගාමිණීපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි.

අදාළ පැමිණිලිකරු විසින් ඔක්කම්පිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන වැලි ව්‍යාපාරය කරදරයකින් තොරව පවත්වා ගෙන යාමට හා වැලි කැණීම් කරන ස්ථානයේ සිට ගබඩාවට ට්‍රැක්ටර් මගින් වැලි ප්‍රවාහනය සිදු කරනු ලබන අවස්ථාවන්හිදී නීති මගින් කටයුතු නොකර සිටීම සඳහා මාසිකව රුපියල් පනස් දහසක මුදලක් සැකකරු ඉල්ලා තිබෙනවා.

අවස්ථා ගණනාවක දී රුපියල් 47,000ක මුදලක් ඉල්ලා ලබා ගෙන නැවත ඉහත පරිදි කටයුතු කර දීම සඳහා සැකකරු විසින් අලුතින් ඉදිකරනු ලබන නිවසේ වැඩ කටයුතු සඳහා වැලි කියුබ් 03ක් හෝ එහි වටිනාකම වන රුපියල් 45,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබුණා.

එම මුදල රුපියල් 40,000 දක්වා අඩුකර ලබා ගැනීමේ දී අදාල සැකකරු අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පැවසුවේ.