හලාවත පොලීසියේ රථ වාහන අංශයේ වැඩබලන ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය නොවැම්බර් මස 19 වනදා විදුලි සංඥා පහන් නිසි පරිදි ක්‍රියාත්මක නොවන යතුරු පැදියක් පදවමින් සිටි රියදුරෙකුගේ රියදුරු බලපත්‍රය එම පොලිස් නිලධාරියා සිය භාරයට ගෙන ඇති බවයි අල්ලස් කොමිසම පැවසුවේ.

එම රියදුරාට එරෙහිව නීති මගින් කටයූතු නොකර සිටීමට පළමුව රුපියල් 2,200 ක මුදලක් සැකකාර පොලිස් සැරයන්වරයා ඉල්ලා ඇති අතර පසුව එම මුදල රුපියල් 3,200 ක් දක්වා වැඩි කර තිබෙනවා.

ඒ අනුව හලාවත පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී සැකකාර පොලිස් නිලධාරියා අදාළ මුදල රියදුරුගෙන් ලබා ගන්නා අවස්ථාවේදි අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.