අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්ෂ 42කට ආසන්න මුදලක් සන්තකයේ තබාගෙන සිටියේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තුන් දෙනාගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද නියෝග කළා.
ඒ අනුව සැකකරුවන් ලබන 20 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.
එදිනට පෙර විමර්ශන අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් අල්ලස් කොමිසමට නියෝග කරනු ලැබුවා.
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සැකකාර නියෝජ්‍ය කොමසාරිස්වරයාගේ නිල කාමරයේ තිබූ ලොකර් එකක තිබී රුපියල් ලක්ෂ හතළිස් දෙකකට ආසන්න මුදලක් සොයා ගෙන තිබෙන බවයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ ලියාපදිංචි කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවට මුදල් ගෙවීමක් සිදු නොවන බවත් එම මුදල් බැංකුවට ගෙවා රිසිට් පත පමණක් මහජනතාව විසින් ඉදිරිපත් කිරීම සිදුවන බවත් එම නිලධාරින් සඳහන් කර සිටියා.
ඒ අනුව මෙම සැකකරු සතුව මෙවැනි මුදලක් තිබිය නොහැකි බව සඳහන් කළ විමර්ශන නිලධාරීන් මෙය අල්ලස් වශයෙන් ලබාගත් මුදල් බවත් සඳහන් කර සිටියා.
විමර්ශන සිදුකිරීමේදී මෙම සිද්ධියට සම්බන්ධ සී.සී. ටී.වී දර්ශන ලබාගත් බවත් ඒවා මකා දමා තිබූ බව අනාවරණය වූ බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියා.
නව දූෂණ විරෝධී පනතේ 109 වන වගන්තිය යටතේ සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අතර ඔවුන් ඇපමත මුදාහරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි හෙයින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
ඉන් අනතුරුව සැකකාර නියෝජ්‍ය කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ තම සේවා දායකයාගේ නිල කාමරයේ තිබූ වානේ අල්මාරියක තිබී මෙම මුදල් සොයා ගත් බව පිළිගන්නා බවයි.
එහෙත් එම මුදල් සොයා ගන්නා අවස්ථාවේ අදාළ අල්මාරියේ යතුර තිබුනේ තම සේවාදායකයා භාරයේ නොවන බවත් එබැවින් එම මුදල් සම්බන්ධයෙන් තම සේවාදායකයාට වගකිව නොහැකි බවත් ඔහු පැවසුවා.
යතුර විත්තිකරු සන්තකයේ නොතිබූ නිසා වෙනත් අයකුට පවා අල්මාරිය තුළට මුදල් දමා තම සේවාදායකයා අමාරුවේ දැමීමට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
තම සේවා දායකයා අත්අඩංගුවට ගත් විගසම ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කළ බැවින් සි.සී.ටී.වී දර්ශන මැකීමට තම සේවා දායකයාට කිසිසේත්ම හැකියාවක් නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ.
මේ ආකාරයෙන් කටයුතු කළහොත් රජයේ නිලධාරින්ට තමන්ගේ රාජකාරිය නිසියාකාරව ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇති බවත් මෙවැනි ක්‍රියාවලින් හොරු ඇල්ලිය නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
ඒ අනුව තව සේවා දායකයා ඇප මත මුදා හරින ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
මෙම නඩුවේ සැකකරුවකු වන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිපිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා සන්තකයේ තිබී දෙලක්ෂ තිස් නව දහසක මුදලක් සොයා ගත් බවත් එම මුදල ඔහුගේ ඥාති සහෝදරියක වන නිරෝෂා ලක්මාලි පීරිස් නමැත්තිය සමඟ සිදුකළ ව්‍යාපාරික කටයුතුවලින් උපයාගත් මුදල් බවත් සඳහන් කර සිටියා.
එම අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ මෙම කරුණ සම්බන්ධයෙන් නිරෝෂා ලක්මාලී පීරිස් නමැතියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවත්, ඇයගේ ප්‍රකාශයට අනුව සැකකරු සන්තකයේ තිබී සොයා ගත් මුදල් ව්‍යාපාරික කටයුතුවලින් උපයා ගත් මුදල් නොවන බවට තහවුරු වූ බවත් සඳහන් කර සිටියා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් සතු සියලු මුදල් අල්ලස් වශයෙන් ලබාගත් මුදල් ලෙස උපකල්පනය කළ නොහැකි බැවින් සහ තම සේවාදායකයාට එරෙහිව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති නිසා ඔහු ඇපමත මුදාහරින ලෙසයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
අනෙක් සැකකරු වෙනුවෙන් පෙනී සිට නීතිඥවරයාද සඳහන් කළේ තම සේවා දායකයාට එරෙහිව සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් ඔහු ඇප මත මුදාහරින ලෙසයි.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ අතර ඔවුන් ලබන 20 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.