දවසින් දවස වාර්තා වන අලි මරණ අද වන විට සුලබ සිද්ධියක් බවට පත්ව අවසන්.

මෙලෙස මෙරට අලි සම්පත බිලිවීමට ඉඩහැර නිහඬව සිටිය හැකිද?

අලි මරණ පිළිබඳ අලුත්ම කතාව අපට ඊයේ අසන්න ලැබුණේ ඉනාමළුව රක්ෂිතයෙන්. දඹුල්ල, ඉනාමළුව, දිගම්පතහ රජයේ රක්ෂිතය තුළ තිබියදී මෙලෙස හමුවුණේ ඇතෙකුගේ සහ අලි දෙදෙනෙකුගේ මළ සිරුරු හා අස්ථි කොටස් කිහිපයක්.
වනජීවී නිලධාරින් පැවසුවේ මීට මාසයකට පමණ ඉහතදී මියගොස් ඇති බවට සැක කෙරෙන බවයි.
එහෙත් මෙම අලි ඇතුන් මියගොස් ඇත්තේ කෙසේද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
මේ අතර ගල්ගමුව ඇහැටුවැව, ගාලයායවෙල රක්ෂිතයේ තිබියදී ද දළ සහිත හස්තියෙකුගේ මළ සිරුරක් සොයා ගැණුනා.
මියගොස් ඇත්තේ කහල්ල, පල්ලෙකැලේ රක්ෂිතය හා ඇහැටුවැව තේක්කකැලේ රක්ෂිතය ආශ්‍රිතව සැරිසැරූ “ගල්ගමුවේ සුමන” හස්තියා බවටයි පැවසෙන්නේ.
මෙම හස්තියා ද මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට සැලකෙනවා.
මෙලෙස දිනෙන් දින සිදුවන වනඅලි මරණ නතර කරන්න බැරි ඇයි? නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගෙන් අදත් ප්‍රශ්න කළා.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පැවසුවේ අලි මරණ මේ වන විට දේශපාලනීකරණය වී ඇති බවයි.

ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසන්නේ රටට සම්පතක් වන වනඅලින් ඝාතනය කරන පුද්ගලයින්ට මරණ දඬුවම ලබාදිය හැකිවන පරිදි නීති සංශෝධනය කළ යුතු බවයි.

මිනිස් ක්‍රියාකාරකම් නිසා වනඅලි මිය යනවා සේම වනඅලි ප්‍රහාරවලින් මිනිසුන් මිය යාමද මේ අතර අදත් අසන්න ලැබුණා.
වැල්ලවාය, රන්දෙණිය, මදුරුව ප්‍රදේශයේදී වනඅලියෙකු සිදු කළ පහරදීමකින් මෙලෙස මියගොස් තිබුණේ පා ගමනින් නිවස බලා යමින් සිටි පුද්ගලයෙක්.
වනඅලි ප්‍රහාරයත් සමග එම පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රන්දෙණිය ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක්.