පරිසර අමාත්‍යාංශය සහ ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහන එක්ව ක්‍රියාත්මක කරන පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළෙහි තවත් එක් කඩිනම් ව්‍යාපෘතියක්, පුත්තලම දිස්ත්‍රික්කයේ, කරුවලගස්වැව, තබ්බෝව වැව කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වුණා.

මෙම වැඩසටහනේ ප්‍රධානතම කාර්යය වන්නේ, ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළ ගැටලුවක් වන අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබා දීමයි.

එම අරමුණ පෙරදැරිව, “අලි වැටෙන් ඔබ්බට ස්ථිරසාර විසඳුමක් කරා” යන තේමාව යටතේ ජාතික වැඩසටහනක් ලෙස එය දියත් කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

මෙම ජාතික වැඩසටහනේ ප්‍රධාන කාර්ය ලෙස, අලින්ට හිතකර පරිසර පද්ධති නිර්මාණය කිරීම සහ අලි සුපෝෂණ කලාප ඇති කිරීම හඳුනාගෙන තිබෙනවා.

එහි සමාරම්භක පියවර ලෙස, තබ්බෝව වැව් පරිශ්‍රය ආක්‍රමණය කර තිබූ ජපන් ජබර සහ කළපු අන්දර වැනි ආක්‍රමණශීලි ශාක ඉවත් කිරීම සිදු කෙරුණා.

ඊට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, සිවිල් ආරක්ෂක නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ තරුණයින්, පරිසර නියමු භටයන් සහ පාසල් සිසුසිසුවියන් ඇතුළු දහසකට ආසන්න පිරිසක් සිය දායකත්වය ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

මෙම වැඩසටහනට සමගාමීව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් තබ්බෝව වැවේ සීමාමායිම් සලකුණු කිරීම, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ගල්විල පාරිසරික උද්‍යානයේ පවතින ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම සහ එම උද්‍යානයේදීම ප්‍රජා මූල සංවර්ධන වැඩසටහනක් පැවැත්වීමද සිදු කර තිබෙනවා.

මීට අමතරව, ඉදිරි දිනවලදී වනාතවිල්ලුව ප්‍රදේශයේ එලාරිස් වැව සහ අනාථවැව අලුත්වැඩියා කිරීමටත්, කරුවලගස්වැව විදුලිවැට දෙපස ඇති කැලෑව ඉවත් කිරීමටත්, වනාතවිල්ලුව විදුලිවැට දිගේ ඇති මාර්ගය පිළිසකර කිරීමටත් නියමිතයි.