සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සවස 02.30ට ආරම්භ වන මෙම තරය දිවා රාත්‍රී තරගයක්.

චරිත් අසලංක ශ්‍රී ලංකා පිලට නායකත්වය ලබාදෙන අතර බංග්ලාදේශය පළමු වරට මෙහෙය වනු ලබන්නේ මෙහෙදි හසන් නිරාස් විසින්.

දෙරට අතර එක්දින තරගයක් පැවැත්වෙන්නේ 2024 මාර්තු මාසයට පසු පළමු වරටයි.

අවසන් වරට දෙරට අතර පැවති එක්දින තරග පහෙන් තුනක් ජය ගැනීමට බංග්ලාදේශයට හැකි වී තිබෙනවා.

කෙසේ වෙතත් මෑත එක්දින පිටියේ දක්ෂතා අනුව ශ්‍රී ලංකා පිල මේ වන විට පසුවන්නේ එක්දින ක්‍රිකට් තේරීම් ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේයි.

බංග්ලාදේශය 10 වන ස්ථානයේ පසු වනවා.

තරගය පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසුවේ අද තණ තීරුව පරීක්ෂා කිරීමෙන් පසු අවසන් කණ්ඩායම තීරණය කරන බවයි.

මෙම තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ නව අලෝක රටා මධ්‍යයේයි.

ඒ සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා නායකයා අදහස් පළ කළා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මෙම තරගය පැවැත්වෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය එක්දින තරග සඳහා හඳුන්වා දුන් නව නීති යටතේයි.

ඒ අනුව තරගයේ එක් ඉනිමක 34 වන පන්දු වාරය දක්වා පන්දු දෙකක් භාවිත වන අතර 34 වන පන්දු වාරයේ සිට භාවිත කළ හැකි වන්නේ එම පන්දු දෙකෙන් ඒ වන විට පන්දු යවමින් සිටින කණ්ඩායමට කැමති එක් පන්දුවක් පමණයි.

හතරේ සීමාව අසලදී ඉන් ඔබ්බට යන පන්දුවක් උඩ පන්දුවක් ලෙස රැක ගැනීමේදී උඩ පන්දුව රැකගත් අවස්ථාවේදී සහ ඉන් පසුව එය රැක ගන්නා ක්‍රීඩකයා ක්‍රීඩා පිටිය තුළ සිටීම අද සිට අනිවාර්යය වෙනවා.

මීට අමතරව කඩුල්ලේ සීමාව තීරණය කිරීම, වයිඩ් පන්දු ලබාදීම ඇතුලු නව නීති කිහිපයක් ද මෙම තරගයේ සිට ක්‍රියාත්මක වනු ඇති.