නව පොලිස්පතිවරයා ලෙස පත් වූ නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද සිය ධූරයේ නිල වශයෙන් රාජකාරි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. අද පෙරවරු 07.30ට නව පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙරට 37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කරනු ලැබුවේ ඊයේ දිනයේදීයි. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී භාරදෙනු ලැබුවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61 ඉ (ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අනුව මෙම නව පත්වීම සිදුකර තිබෙනවා. 1969 පෙබරවාරි 09 වනදා උපත ලද වීරසූරිය ලියන ආරච්චිගේ සමන් ප්‍රියන්ත, දොඩංගොඩ නෑහින්න කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන හදාරා ඉන් අනතුරුව කළුතර ඥාණෝදය මහා විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලබා තිබෙනවා. අධ්‍යාපනය ලබන අවධියේදීම ශ්‍රී ලංකා පොලිසිය තම වෘත්තීය ගමන් මඟ වශයෙන් තෝරා ගත් ඔහු පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක් වන්නේ 1988 මැයි මස 20 වනදායි. අනතුරුව 1990 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට සුදුසුකම් ලැබූ ප්‍රියන්ත වීරසූරිය මහතා 1992 වර්ෂයේදී උප පොලිස් පරීක්ෂක ශ්‍රේණියට බදවා ගැනීම යටතේ ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ඇතුලත් වී තිබෙනවා. පොලිස් සේවයේ සිටියදීම 1998 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නීති උපාධිය සාර්ථකව අවසන් කළ ප්‍රියන්ත වීරසූරිය මහතා එය මුලික සුදුසුකමක් කර ගනිමින් 1999 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සෘජුවම පොලිස් සේවයට ඇතුළත්ව තිබෙනවා. 2007 වර්ෂයේ පොලිස් අධිකාරි ධූරයට ද, 2012 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට ද, 2016 වර්ෂයේ නියෝජ්‍ය පොලිස්පති ධූරයට ද, 2020 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට ද ඔහු උසස්වීම් ලබා ගත්තා. වසර 37ක අත්දැකීම් සහිත පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ප්‍රියන්ත වීරසූරිය මහතා මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන අවධි තුනම පසු කරමින් පොලිස්පති ධුරයට පත් වූ පළමු පොලිස්පතිවරයා ලෙස ඉතිහාසයට එක්වන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ සුවිශේෂී සංධිශ්ඨානයක් සනිටුවහන් කරමින්.