කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් නැවත දැනුම් දෙනතුරු වසා තබන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.

අදාළ මාර්ගය භාවිත කරන රියදුරන් සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය දැනුම් දුන්නේ.

ඒ අනුව කොළඹ සිට කුරුණෑගල හරහා මහනුවර දක්වාත්, කොළඹ සිට කරඬුපන හරහා මහනුවර දක්වාත්, කොළඹ සිට මාවනැල්ල, හෙම්මාතගම, රම්පල හරහා මහනුවර දක්වා සහ කොළඹ සිට මාවනැල්ල, ගනේවත්ත හන්දියෙන් කොවිල් කන්ද හරහා පිළිමතලාව, මහනුවර දක්වාත් වූ විකල්ප මාර්ග භාවිත කළ හැකියි.

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඇති වූ ආපදා තත්ත්වයෙන් උඩරට දුම්රිය මාර්ගයට සහ කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයට බලපෑමක් තිබේද? මේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා.

මාවනැල්ල, ගනේතැන්න, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නිවසක් හා වෙළෙඳසලක් මතට විශාල ගලක් සමඟ පස් කන්දක් කඩා වැටීමෙන් ඊයේ පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

අනතුරින් තවත් පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කළ අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.