තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් හෙට සිට එළඹෙන 18 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව “අහෝ දුකකි, පිරමීඩ උගුලකි” යන තේමාව යටතේ මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන සිදු වනවා.

මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම හා මූල්‍ය පාරිභෝගිකයන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම යන මහ බැංකුවේ කාර්යභාරයන්ට සමගාමීව තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳව හා ඒවා මගින් තනි පුද්ගලයන්ට මෙන්ම සමස්ත ආර්ථිකයට සිදුවන සැලකිය යුතු අවදානම් පිළිබඳව පුළුල් වශයෙන් දැනුම්වත් කිරීම මෙම ජාතික වැඩසටහනේ ඉලක්කය බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

මෙම වැඩසටහනේදී පාසල් සිසුන් සහ ගුරුවරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, සිවිල් ආරක්ෂක සේවා නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්, රාජ්‍ය අංශයේ සේවකයන් ජාතික වශයෙන් දැනුම්වත් කිරීම අපේක්ෂා කෙරෙනවා.

බිම් මට්ටමේ පුළුල් ආවරණයක් සහිතව ප්‍රජා සහභාගීත්වය සහතික කරමින් දිවයින පුරා පාසල් 6,172ක් සහ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,022ක් ඔස්සේ ප්‍රධාන වශයෙන් මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.