ආපදාවට පත් ප්‍රදේශවල ඇති දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරා ගැනීමේ සිද්ධීන් කිහිපයක් මේ වන විට වාර්තා වෙමින් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පවසනවා.

ඒ අනුව දුරකතන සහ විදුලි රැහැන් යළි යථා තත්ත්වයට පත් කරන ස්ථානවලට විශේෂ ආරක්‍ෂාවක් ක්‍රියාත්මක කරන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර රඹුක්කන, යටගම, තල්හේන්කන්ද ප්‍රදේශයේ පිහිටි දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රඹුක්කන පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින්.

අදාළ සැකකරු විසින් තඹ කම්බි කිලෝ 13 කට අධික ප්‍රමාණයක් සොරකම් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.